ඉන්දීය විදේශ කටයුතු ලේකම් ලබන සතියේ මෙරට සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ්වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔක්තෝබර් මස 2 වනදාත් 5 වනදාත් අතර කාලයේ දී විදේශ ලේකම්වරයා එම සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්යය ජී.එල් පිරිස් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් යන මහත්වරුන් අතර පැවැති හමුවෙන් දින 10ක පමණ කාලයකට පසුව විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කිරීම විශේෂත්වයක් වනවා.

සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ද්වීපාර්ශ්වික ව්‍යාපෘති කිහිපයක කටයුතු, විදේශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් වනවා.

හර්ෂ්වර්ධන් මහතා ඉන්දීය විදේශ ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන පළමු අවස්ථාව මෙය බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.