මාත්‍රා තුනකින් යුත් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නතක් ඉන්දියාවෙන්

නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත්, කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නතක් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම එන්නත කොවිඩ්-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත යැයි පැවසෙනවා.

ඩී.එන්.ඒ. එන්නතක් ලෙස සැලකෙන්නේ, කෙළින්ම කොවිඩ්-19 වෛරසයේ ඩී.එන්.ඒ. අණු යොදා ගනිමින් නිපදවන එන්නතක් බව පැවසෙනවා. මෙම එන්නත ශරීරගත කළ විට, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන බොහෝම ඉක්මණින් සහ සාර්ථකව වර්ධනය වෙනවා. ඒ අනුව, මෙම නව එන්නත ‘ඩෙල්ටා’ ඇතුළු විකෘති කොරෝනාවලට සාර්ථක එන්නතක් යැයි එහි නිෂ්පාදකයෝ පවසනවා.

ZyCoV-D යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම එන්නත නිපදවා ඇත්තේ ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පිහිටි ‘සයිඩුස් කැඩිලා’ ඖෂධ නිෂ්පාදන සමාගම බව පැවසෙනවා. ඉන්දියාවේ පිහිටියත් මෙය ජාත්‍යන්තරයට ඖෂධ නිපදවන ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිශ්පාදන සමාගමක් වෙනවා. එපමණක් නොව, ‘සයිඩුස් කැඩිලා’ ඖෂධ නිෂ්පාදන සමාගම, මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවා ඇත්තේ ඉන්දීය ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුව සමග ද එක් වෙමින් බව පැවසෙනවා.

සායනික අත්හදා බැලීම් යටතේ අවුරුදු 12 වැඩි, 28,000 කට එන්නත් මාත්‍රා තුනම ලබා දුන් බවත්, එන්නත් ලබා ගත් කිසිවකුට කොවිඩ්-19 විකෘති ප්‍රභේදයක් හෝ ආසාදනය නොවුණු බවත්, එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කරමින්, ඉන්දීය ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාවේ අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ඉදිරියේ දී ලැබෙනු ඇත්තේ මෙම සයිඩුස් කැඩිලා සමාගමේ ප්‍රතිශක්තිකරණ එන්නත බව පැවසෙනවා. මෙය සියයට සියයක් ඉන්දියාව තුළ ඉන්දීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන දෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නත වෙනවා. මේ වනවිට ඉන්දියානුවන්ට ලැබෙන ඉන්දීය තාක්ෂණයෙන් නිෂ්පාදිත පළමු එන්නත වන ‘කොවැක්සින්’ එන්නත ඉන්දීය රජයට අයත් ‘භාරත් බයෝටෙක්’ සමාගමේ නිෂ්පාදනයක් වෙනවා.

මෙතෙක් නිපදනවා ඇති සාර්ථක එන්නත් දෙකක් ලෙස සැලකෙන ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් වර්ග දෙකක් බව පැවසෙනවා. එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්වල ඇත්තේ, ‘කොවිඩ් 19’ වයිරස විෂබීජයේ ජානවලින් සකසනු ලැබූ කේතයක් වන අතර එය සිරුරට එන්නත් කෙරෙනවා.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ පමණක් නොව, රුසියාවේ ‘ස්පුට්නික් 5’ සහ චීනයේ ‘සයිනෝෆාම්’ එන්නත ද නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇති කිරීමට සැලැස්වීමය. එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය කෙරෙනවා.