බ්‍රිතාන්‍ය මහ රැජින ඉරිදා ජාතිය අමතයි.

බ්‍රිතාන්‍ය මහ රැජින ඉරිදා (05)  රාත්‍රී 7.00ට ජාතිය ඇමතීමට නියමිත බව බකිංහැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ වනවිට 93 හැවිරිදි වියේ පසුවන දෙවැනි එලිසබෙත් මහ රැජින නත්තල් දිනයේ දී නිකුත් කරනු ලබන සාම්ප්‍රදායික පණිවිඩය හැර සිය වසර 68ක පාලන කාලයේ දී ජාතිය අමතන සිව්වැනි අවස්ථාව මෙයයි.

මීට පෙර ඇය ජාතිය අමතා ඇත්තේ 1991 දී පළමු ගල්ෆ් යුද්ධය සම්බන්ධයෙන්, 1997 දී ඩයනා කුමරියගේ අවමංගල්‍ය අවස්ථාවේ දී සහ 2002 දී මව් රැජිනගේ අභාවයෙන් පසු යන අවස්ථා තුනේ දී පමණි.

එසේ වුව ද 2012 වර්ෂයේ දී ඇය තම කිරුළු පැළඳීමේ දියමන්ති ජුබිලිය සමරන අවස්ථාවේ දී රූපවාහිනී දේශනයක් පැවැත්වූවාය.

නමුත් එය ජාතිය ඇමතීමක් ලෙස සළකන්නේ නැත.

බකිංහැම් මාලිගයේ සේවකයකුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මහ රැජින සිය නිල රාජකාරී අතහැර එඩින්බරෝ ආදිපාදවරයා සමග බර්ක්ෂයර්හි වින්ඩ්සර් මාලිගයේ සිටින්නීය.

එහි සිට මෙම පණිවිඩය පටිගතකොට මාධ්‍ය සඳහා මුදාහැරීමට නියමිතය.
මෙහි දී කොවිඩ් – 19 වයිරසයේ පැතිරීම සම්බන්ධයෙන් රැජින විශේෂ ප්‍රකාශයක් කරන බව ද බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයකු පවසා ඇත.