නිරිත දිග මෝසම් කාලගුණය දිවයින හරහා

නිරිත දිග මෝසම් කාලගුණය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර හා සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර හා සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

මේ අතර, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මැයි මස 23 වන දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් මැයි 21 වන දින සිට නැවත දැනුම් දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තුළ ධීවර සහ නාවුක කටයුතවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නාවුක සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

එසේම, දැනට එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත පිරිස් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරත්ෂිත ස්ථානයක් කරා ගමන් කරන ලෙස මෙම නිවේදනය මගින් තවදුරටත් දන්වා තිබෙනවා.

ඇතිවිය හැකි ආපදා තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 න් විමසන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.