කාලගුණ අනාවැකිය (මැයි 14 ): වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්, අද (මැයි 14) දිනයේදීත් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මීට අමතරව, දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන් වෙනවා. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පැවසෙනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව සඳහන් වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය හේතුවෙන්, දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩිවිය හැකි බවත් විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර තිබෙනවා.