අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පහත් බිම් රැසකට ගංවතුර තර්ජන

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළනි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ද ජල මට්ටම් ඉහළ යමින් ඇති බැවින් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. ඕනෑම ආපදා තත්ත්වයකදි 117 දුරකථන අංකය මගින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඇමතීමට හැකි වෙනවා.

කැලණි ගඟ ජල මට්ටම් ඉදිරි පැය කිහිපය තුළ උතුරා යන මට්ටමට ළඟාවිය හැකි බැවින් දෙහිඹ්විට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ඇති වී තිබෙන සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වියහැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවය අනතුරු අඟවනවා.

අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟ ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ද හොරණ, අගලවත්ත, මිල්ලනිය, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මදුරාවල සහ කළුතර යන ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ඳනුවර සහ අගලවත්ත යන ප්‍රදේශවලට නායයෑමේ අවදානම් රතු නිවේදන නිකුත්කර තිබෙනවා. මේ අතර රත්නපුර අයගම දුම්බර ප්‍රදේශයේ අළුයම් කාලයේ සිදුවී ඇති නායයාමක් හේතුවෙන් පුද්ගලයන් තුන් දෙනෙකු අතුරුදහන් වී තිබේ. එම ප්‍රදේශයේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම නායයාම සිදු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටිනවා.

කොළඹ, ගාල්ල, කෑගල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නිකුත්කළ නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙනවා.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබිඳ වැටීම් ද සිදුව තිබෙනවා. කෙසේවෙතත් නඩත්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර පවතින අධික වර්ෂාපතනය ඊට බරපතළ ගැටලුවක් බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.