ඇද හැලුන මහ වැසි සමග ගංගා රැසක් පිටාර මට්ටමේ..

පසුගිය පැය විසි හතරක කාලය තුළ දිවයිනේ බොහෝ පළාත්වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර කලු, කැලණි, නිල්වලා, ගිං, අත්තනගලු ඔය සහ මා ඔය යන ගංගා පිටාර ගැලීම සිදුවෙමින් පවතින අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම,දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අවදානම් කලාපයන්හි ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් වන ලෙස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා.

තව දුරටත් වර්ෂාව පැවතුනහොත්, නායයාම් අවදානම ඇති කඳුකර ප්‍රදේශවල නායයාම, පස්කණ්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට ගංවතුර අවදානම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සහ අකුණු අනතරු අවම කර ගැනීම සඳහා කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බව සඳහන් වෙනවා.

විශේෂයෙන් ම, පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන්, ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් එම තත්ත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් ඇතිවිය හැති අවදානම් තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වනවිටත් රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවල පස්කණ්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදෙශ ජලයෙන් යටවීම වාර්තාවෙනවා. අද (මැයි 14) අළුයම ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේ කන්දක් නාය ගොස් විශාල ගල් සහිත පස්කන්දක් මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටියා. ඇති වූ තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 60ක් අවතැන්වී ඇති අතර පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව එක් මරණයක් වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා.