ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිධූරය නිතරගයෙන් ශම්මි සිල්වාට

ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරගයෙන් පත්වුණා. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021 – 2023 වසර දෙකක කාලය සඳහා නව නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය අද (20) පෙරවරුවේ සූම් තාක්ෂණය භාවිතයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් හත්දෙනාම නිතරගයෙන් පත්වුණා.

මෙහිදී ශම්මි සිල්වා මහතා නියෝජනය කළ පාර්ශ්වයෙන් නාම යෝජනා ඉදිරිපත් කළ රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු උප සභාපති ධූර දෙකටත්, මොහාන් ද සිල්වා මහතා ප්‍රධාන ලේකම් ධූරයටත්, ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම් ධුරයටත් නිතරගයෙන් පත්වුණා.

ඊට අමතරව, ලසන්ත වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරිකවරයා ලෙස සහ සුජීව ගොඩලියද්ද මහතා උපභාණ්ඩාගාරික ධූරයට නිතරගයෙන් පත්වුණා. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණයෙන් මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා නාමයෝජනා ලබාදුන් කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් මීට දින දෙකකට පෙර නිලවරණයට තරග වැදීමෙන් ඉවත්වුණා. ඔවුන් තිදෙනා පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “නිලවරණ කමිටුව” වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබුණා. ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි වන්නේ එහි හිටපු නිලධාරීන්ට සහයෝගය දැක්වීම බවත් එවැනි තත්ත්වයක් තිබියදී ඡන්දයකට යාම තේරුමක් නැති ක්‍රියාවක් වන හෙයින් සියලු දෙනාම එක්ව නිලවරණය සඳහා ඉදිරිපත් වීමෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් පැවසුවා.

අවසන් වරට පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27කින් තේරී පත් වුණා. එම නිලවරණයේ දී ශම්මි සිල්වා මහතාට ඡන්ද 83ක් හිමි වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා ලෙස නිලවරණයට ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස මහතාට හිමි වූ ඡන්ද ගණන 56ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිල මඬුල්ලේ ධූර කාලය 2021 අප්‍රේල් 5 වැනිදායින් අවසන් වුණා.

ශම්මි සිල්වා මහතා කොළඹ CCC ක්‍රීඩා සමාජයයේ සභාපතිවරයා වන අතර පසුගිය ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරයට තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් ඔහු ඉදිරිපත් වී ජයග්‍රහනය කළා. හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකුණ ශම්මි සිල්වා මහතා, පසුගිය කාලයේ තිලංග සුමතිපාල මහතා සමග මත ගැටුම් ඇතිවී තිබූ බවට මාධ්‍ය වාර්තා කළා.

ශම්මි සිල්වා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර 1980 වසරේ නාලන්දාවේ පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හොබවමින් 51 වන ආනන්ද නාලන්දා මහ ක්‍රිකට් ගැටුම වන සුලෝහිත සංග්‍රාමයට නාලන්දා කණ්ඩායම මෙහෙයවූවා. ඊට අමතර දක්ෂ ස්කොෂ් ක්‍රීඩකයෙකු වන ශම්මි සිල්වා මහතා, ජාතික ස්කොෂ් කණ්ඩායම නියොජනය කර ඇති අතර අනතුරුව ජාතික ස්කොෂ් කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.