2021 එල්.පී.එල්. තරගාවලිය ලබන ජූලි මස 30 වැනිදා සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන LPL  (එල්.පී.එල්.) තරගාවලිය, ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

පසුගිය වසරේදී කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් LPL තරගාවලියේ පළමුවැන්න, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කොරෝනා වයිරසයේ බලපෑම තිබියදීත්, ආරක්ෂිත ජෛව බුබුලු 5 ක් ලෙසින් සූදානම් කළ ක්‍රිකට් කණ්ඩායම් 5 ක්, එම තරගාවලියට සහභාගි වුණා. මේ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටි අතර නිරෝධායන ක්‍රියාවලිය නිසා සමහර විදෙස් ක්‍රීඩකයන් අවසාන මොහොතේ ක්‍රීඩා කිරිම අතහැර දැමූ බව වාර්තා වුණා.

“මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය අනෙකුත් සාධක පිළිබඳව උනන්දු වන අතරේදීම අපි තරගාවලිය පැවැත්විය හැකි කාලසීමාවක් ගැන උනන්දු වුණා. එහිදී අපට යොදාගත හැකි හොඳම කාලසීමාව වන්නේ ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 දක්වා කාලසීමාවයි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවෙනවා. කෙසේ වෙතත්, ඒ වන විට රටේ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව, ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් ලබාගනිමින් LPL තරගාවලිය සංවිධානය කෙරෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කොවිඩ්-19 අතරතුර ජනතාව එන්නත් කරමින් සිටියදී, ඉන්දියාවේ ඇරඹි IPL තරගාවලිය අතරමග නවතා දැමීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පසුගියදා තීරනය කළා. මේ නිසා IPL සඳහා සූදානම් කළ කණ්ඩායම් ඉන්දියන් රුපියල් කෝටි 3000ක පමණ පාඩුවක් ලැබූ බව ද ඉන්දීය ක්‍රිකට් බලධාරීන් නිවේදනය කළා. දැඩි සෞඛ්‍ය රෙගුලාසි යටතේ සූදානම් කළ – ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයින්ට කොවිඩ්-19 වෛරසය අසාදනය වීම, තරගාවලිය නවතා දැමීමට හේතු වුණා.

මේ අතර, විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදෙස් ජාතිකයන් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දින 14ක නිරෝධායනයට යටත්වීම අනිවාර්ය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.