රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩුවී පවතින එකම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් පත්විය යුතු යැයි, මැයි මස 31 දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනා වී ඒකමතිකව තීරණය වී තිබෙනවා.

කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දයා පැල්පොල මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ මතය වූයේ විපක්ෂයේ ශක්තිමත් බලවේගයක් ගොඩනැගීම සඳහා දායක වීමට, රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට යා යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.

රටේ පවතින කොවිඩ්-19 වසංගතය නිසා පොලීසියේ විශේෂ අවසරයක් ලබා ගෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම, විසි දෙනකුට පමණක් සීමා වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පස් දෙනෙක් ද අද පත් කෙරුණු බව වාර්තා වෙනවා. දිනුක් කොළඹගේ, සමන් රත්නප්‍රිය ,කිත්සිරි මංචනායක, ආර්. යෝගරත්නම් සහ එස්. රාජාබ්දීන් යන මහත්වරු මෙසේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් පත් වූ නව සාමාජිකයින් වෙනවා.