අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 54 වන වාර්ෂික මහා සභා රැස්වීම, මැයි මස 05 වනදා පස්වරුවේ මාර්ගගත ක්‍රමයට පවත්වන ලදී. එහි දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය.

මෙම තනතුරට පත්වන විට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB) අධිපති ධූරය හොබවමින් සිටියේය.

ජෝර්ජියාවේ ටිබිලිසිහි පැවැත්වීමට නියමිත ව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම, වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට පැවැත්විණි. ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන් මෙහි දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තෝරා පත්කර ගන්න ලදී.

54 වන වාර්ෂික මහා සභා රැස්වීම ඇමතූ අග්‍රාමාත්‍යවරයා, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර නොවූ විරූ ලෙස මිනිස් ජීවිත අහිමි වී ඇති අතර අපේ ජන ජීවිතය, සමාජය, ආර්ථිකය මෙන්ම වටිනා හර පද්ධති සහ අපගේ සංස්කෘතික භාවිතයන් සියල්ල කඩාකප්පල් වී ඇති බවත් එවැනි පසුබිමක් තුළ නැවත සාමූහිකව නැගී සිටීමට සුදුසු ම කාලය මෙය බවට විශ්වාස කරන බවත් ප්‍රකාශ කළා. 

මෙම සියවස ආසියානු සියවස ලෙස හැඳින්වූ අග්‍රාමාත්‍යවරයා, වර්තමාන වසංගත තත්ත්වය තුළ පවා, අර්බුදයන්ට මුහුණ දීමට කලාපය සතුව ඇති හැකියාව පිළිබඳව ද අදහස් ප්‍රකාශ කළා.

දැන් අවශ්‍ය වන්නේ අපගේ පොදු ගැටලු විසඳා ගැනීම සඳහා සාමූහිකව සහයෝගයෙන් කටයුතු කිරීම බව අවධාරනය කළ අග්‍රාමාත්‍යවරයා, ඒ සමග ම, “හරිත ආර්ථිකයක්” තුළ සේවාවන් සැපයීම පහසු කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම ශ්‍රී ලංකාව දැනටමත් හඳුනාගෙන ඇති බවද සඳහන් කළා. පොසිල ඉන්ධන භාවිතය අඩු කරමින් පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමු වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල සහයෝගය අපේක්ෂා කළ ඒ මහතා, නැගී එන ආසියාවේ පරිසර හිතකාමී තිරසර නගර බිහි කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විශාල සහයොගයක් දිය යුතු යැයි විශ්වාස කරන බවද සඳහන් කළා.

ඒ සමගම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසරයක් උදෙසා අප විසින් ගතයුතු තිරසාර භාවිතයන් සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් කාන්තාව ඉටු කරන තීරණාත්මක කාර්යභාරය හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව  සඳහන් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නෑ. 

මෙම වසංගත තත්ත්වය හමුවේ ඉතා කඩිනමින් සාමාජික රටවල සහයට ඩොලර් බිලියන 20 ක් බෙදාහරිමින් ආසියානු සංවර්ධන බැංකුව දුන් සහයෝගය ද එන්නත්කරණය සඳහා ශ්‍රී ලංකාවට සහ තවත් බොහෝ රටවලට ඩොලර් බිලියන 9ක්  ලබා දී ඇති අතර එම සහයෝගය ද වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවට විශේෂ ස්තුතිය පුද කිරීමට ද ඒ මහත කටයුතු කළා.

අනාගතයේදී අප ඉදිරියේ ඇති භයානක අභියෝගයන්ට කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මුහුණ දීමට අවශ්‍ය නායකත්වය ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ඇති බවට විශ්වාසය පළ කළ අග්‍රාමාත්‍යවරයා, ලබන වසරේ කොළඹ දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීමට සියලුදෙනාට ආරාධනා කළා. ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පවත්වන තුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුන දරනු ඇත.

ඡායාරූප – අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය