යුරෝපා නියෝජිතයන් ජනපති හමුවට.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  පැවසුවා.

ඒ සඳහා අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇතැයි කී ජනාධිපතිවරයා වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද සඳහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමඟ මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ දී අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී.

යුරෝපා සංගමය මගින් ලබාදෙන ජී.එස්.පී ප්ලස් ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයේ අපේක්ෂාව වී තිබෙනවා.

ඉතිහාසයේ කිසිදු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිත ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ ඒ හේතුවෙන් රජය අපේක්ෂා කළ සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ තිබියදීත් දීර්ඝකාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමට කටයුතු කළ බව පැවසුවා.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස  සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදී ද ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බව ද ජනාධිපතිවරයා පැවසුවා.

පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිදු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට තමා උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශව සාවද්‍ය මතවාද ඇතිකිරීම කණගාටුදායක බව ද ජනාධිපතිතුමා සඳහන් කළා.

මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දුන්නා.

සිය සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළා.