‘සිනොවැක්’ එන්නතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ ‍’සිනොවැක්’ සමාගම නිපදවා ඇති කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ‘සිනොවැක්’ එන්නත ආරක්ෂිත, ඵලදායී හා ගුණාත්මක බව සහතික කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් ජුනි 01 වැනි දා පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කළා.

මෙම එන්නත, ‘කොවිඩ්-19’ කොරෝනා වයිරසයට එරෙහිව චීනය නිපදවූ දෙවැනි සාර්ථක එන්නතය. චීනයේ අනෙක් සාර්ථක එන්නත වන්නේ ශ්‍රී ලංකාවේ මෙවන විට භාවිතයට ගැනෙන ‘සයිනෝෆාම්’ එන්නතය. ‘සයිනෝෆාම්’ එන්නත ද හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාසයේ දී අනුමැතිය ලබා දී තිබුණා.

මෙම ‘සිනෝවැක්’ එන්නත වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහායි නිර්දේශ වෙනවා. දැනටමත් ලොව පුරා රටවල් කිහිපයක ‘සිනොවැක්’ එන්නත භාවිතයට ගැනෙනවා. චීනයට අමතරව චිලී, බ්‍රසීලය, ඉන්දුනීසියාව, මෙක්සිකෝ, තායිලන්තය සහ තුර්කිය ද ඊට අයත් වෙනවා.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු දෙවැනි චීන එන්නත ලෙස ‘සිනොවැක්’ එන්නත සැලකෙනවා. මේ වනවිට චීනයේ තවත් ඖෂධ සමාගම් රැසක් ද කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නිපදවමින් සිටින බව වාර්තා වෙනවා.

‘සයිනෝෆාම්’ එන්නත සේම, මෙම ‘සිනෝවැක්’ එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විත වෙනවා. එමෙන්ම පළමු මාත්‍රාව ලබාගෙන සති 02 ත් 04 ත් අතර කාලයේදී එහි දෙවන මාත්‍රව ලබාගත යුතු වනවා. මීට අමතරව ‘සිනොවැක්’ එන්නතේ පවතින ප්‍රධාන වාසියක් වන්නේ එය සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර සාමාන්‍ය ශීතකරණයක් තුළ ගබඩා කළ හැකි වීමයි. එම හේතුවෙන් ‘සිනෝවැක්’ එන්නත අවම සම්පත් සහිත පරිසරයට ඉතා සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීම සදහා චීන රජය එකගතාව පළ කර ඇත්තේද ‘සිනොවැක්’ එන්නත බව සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටිනවා.