සංචරණ සීමා මැද මෙවර වෙසක් උත්සවය සංකේතාත්මකව සැමරේ.

වෙසක් උත්සවය යනු, ලොව වටා සමස්ත බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන ප්‍රමුඛතම බෞද්ධ උත්සවයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, එනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම, පරිනිර්වාණය යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය, අද, එනම් මැයි මස 26 ට යෙදී තිබෙනවා.

වෙසක් පොහෝ දිනයේදී සමස්ත බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරනවා.

මෙවර වෙසක් පුන් පොහොය දිනය සහ ඊට පසු දිනය යෙදී ඇති මැයි මස 26 වනදා සහ 27 වනදා රටපුරා සංචරණ සීමා පැනවුණා. එබැවින්, රට පුරා බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සැමරිය යුතු වෙනවා. විහාරස්ථානවල හා ඉන් පිටත ජනතාව එක්රැස් වන දාන, ශීල භාවනා, වෙසක් තොරණ හෝ වෙනත් පුණ්‍ය උත්සවය සංවිධාන නොකොට සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව, ත්‍රෛනිකායික මහනාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මැයි මස 23 වනදා සිට වෙසක් සතිය වෙනුවෙන් යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය සහ වැඩසටහන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් අවලංගු කෙරුණා.

රටේ පවත්නා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන, සංකේතවත්ව පමණක් වෙසක් මහෝත්සවය පවත්වන ලෙස ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ කළ අනුශාසනාව අප සිත්හි දරා ගනිමින් සියලු රටවැසියාගේ ආරක්ෂාව සේම, සුභසිද්ධියත් සලකා, අසිරිමත් තෙමඟුල ශ්‍රද්ධා පෙරදැරිව සිහිනුවණින් යුතුව සැමරීමට කටයුතු කළ යුතු බවට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය වෙසක් දින පණිවුඩයේ සඳහන් කර තිබුණා.