එන්නත්කරණ කටයුතු කඩිනමින්, වයස අවුරුදු 18 ත් 30 ත් අතර ඔක්තෝම්බර් සිට ආරම්භ කිරීමට සැලසුම්

වයස අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන ශ්‍රී ලාංකිකයින් සදහා කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම 2021 ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණ කටයුතු මේ වනවිට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවද යුද හමුදාපතිවරයා සදහන් කරනවා.

මේ අතර වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 300,000ක පිරිසක් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කිසිදු මාත්‍රාවක් ගෙන නැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත් වන වැඩිහිටි පුද්ගලයන්ගෙන් හතරෙන් තුනක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.

වැඩිහිටි ජනතාව වහාම එන්නත්කරණයට යොමු විය යුතු බවත් නොඑසේ නම් වයිරසය ආසාදනයෙන් සිදු වන සංකූලතා දරුණු වීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් ඇමැතිවරයා පවසනවා.

තමා ජීවත් වන ප්‍රදේශයෙන් ලබාදෙන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් ලබා ගැනීමට වැඩිහිටි ජනතාව යොමු විය යුතු යැයි ද, තමාට ලැබෙන එන්නත හොඳම එන්නත යැයි සිතා එන්නත්කරණයට යොමු වීමෙන් වයිරසය ආසාදනයෙන් සිදු වන සංකූලතා අවම කර ගත හැකි යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.

මේ වනවිට මෙරට පුද්ගලයින් 11,879,000 කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. ඉන් පුද්ගලයින් 4,616,266 සංඛ්‍යාවකට දෙවන මාත්‍රාව ලබාදී ඇති අතර වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සියලු දෙනාට මේ වසරේ සැප්තැම්බර් මස අග වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.