25 වනදාට සංචරණ සීමා අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් ලිහිල් කෙරේ

25 වන අඟහරුවාදාට ඉවත් කිරීමට නියමිතව තිබූ සංචරණ සීමා අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වැනි ජන ජීවිතයට අත්‍යවශ්‍ය අලෙවිසල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වෙතින් සිය අවශ්‍යතා සපුරාගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කරන බවයි. අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට එදින නිවසකින් බැහැර යාමට අවසර ඇත්තේ එක් අයෙකුට පමණක් බවද එහි සඳහන් වෙනවා.

පවතින සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, එම කාලය තුළ විවෘතව තැබීමට අවසර ඇත්තේ අහාර ද්‍රව්‍ය සහ ඖෂධ අළෙවි සැල්, ඉන්ධන පිරවුම් හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණක් බවයි. මත්පැන් අලෙවි සැල් විවෘතව තැබීමට සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශීවීම් සඳහා ඉඩ නොලැබෙන බව ද යුදහමුදාපති වරයා සඳහන් කරනවා.

මේ අතර, දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ලබන මැයි මස 25 වන අඟහරුවාදා වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

සංචරණ සීමා 25 වන අඟහරුවාදා ලිහිල් කළ විට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අරමුණින් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් එම දුම්රිය සේවය භාවිතා කරන ලෙසට මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

28 වන සිකුරාදා දින දක්වා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න, වත්මන් කොවිඩ්-19 වර්ධනයේ තත්ත්වය සලකමින් තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.