අද ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයයි.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (1)ට යෙදී තිබෙනවා.

මෙවර ලෝක ළමා දින සැමරුම් තේමාව “සියල්ලටම පෙර දරුවන්” වන අතර වැඩිහිටි දින සැමරුම් තේමාව ‘සියලු වයස් කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්‍ෂණය’ වනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සහ පළාත් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. එහි ජාතික උත්සවය, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිනී ප්‍රධාන මැදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ සඳහා දරුවන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරවාගන්නා බැවින් ඒ සඳහා රූපවාහිනිය ඔස්සේ දරුවන් සම්බන්ධ කරන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
දිවයින පුරා ළමා නිවාස 379ක සිටින දරුවන් වෙනුවෙන් පරිගණක මධ්‍යස්ථාන ලබාදීම සහ පාසල් ගුරුවරුන් සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යත්ව 1500ක් පිරිනැමීම මෙහිදී සිදුවන බව පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.

මේ අතර, මෙවර වැඩිහිටි දින සැමරුම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ද සහභාගිත්වයෙන්, සූම් තාක්‍ෂණය ඔස්සේ රටපුරා වැඩිහිටියන් සම්බන්ධ කරගනිමින් සංකේතවත්ව සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, මාර්ගගත ක්‍රමවේද ඔස්සේ වැඩිහිටි දක්‍ෂතා ඇගයීමේ වැඩසටහනක් ද ඉදිරියේදී පැවැත්වීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසුවා.