කොරෝනා සුවකරන කරලක් නිපදවූ මනෝ වෛද්‍ය උදාර සම්පත් කරාපිටියේ කොරෝනා වාට්ටුවකට මාරු කරයි

කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තමන් විසින් ඖෂධයක් නිෂ්පාදනය කළේ යයි පවසන, කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා, එම රෝහලේම කොරෝනා වාට්ටුවකට මාරු කර යවා තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.එම්. ෂෙල්ටන් පෙරේරා මහතා විසින් ඔහුට ලබාදුන් මෙම මාරුවීම දැනුම් දුන් ලිපියේ, කොරෝනා ආසාදිතයන්ට ඔහුගේ සේවය උපරිමයෙන් ලබා දීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති බව ද සටහන් කර තිබෙනවා.

මොහු “කරාපිටිය රෝහලේ පාන්දර පුද්ගලයෙක් රෝද පුටුවක අයිතිකාරයෙක් නැතුව පැය භාගයක් හති හලලා මැරෙනවා. කවුරුවත් ළංවෙන්නේ නෑ හොයලා බලන්න. ඒ් නිසා මේ විදියට රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා. ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ. ඔත්තු සේවය දාලා හොයලා බලන්න. වෛද්‍යවරු බයේ හැංගිලා ඉන්නවා. මේක ෆෝන් එකකින්වත් ගහලා දාන්නේ නෑ. ඒ් නිසා තව දුරටත් කට වහගෙන ඉන්න බෑ. මගේ වෛද්‍ය වෘත්තියවත් අනිත් ඒවාවත් මට වැඩක් නෑ. අද උදේ මං මෝචරිය ගාවින් යනකොට හැමදාම මිනිස්සු මැරෙනවා. මැරි මැරි වළලනවා. මේක පේන්නේ නැද්ද ? මම කතා කරන්නේ දත්ත එක්ක. වහාම අපේ රටේ මිනිස්සු මැරෙන එක නවත්වන්න.” යැයි පවසමින් සිදු කළ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා වාර්තා වුණා.

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් මානුෂීය ආකාරයෙන් කටයුතු කළ ආකාරය හා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කරමින් සිටින නිසා කොරෝනා ආසාදිතයන්ට එම සේවාව උපරිමයෙන් ලබා දීමට මෙම ස්ථාන මාරුව සිදු කළ බව ද රෝහලේ අධ්‍යක්ෂ නිකුත් කර ඇති ලිපියේ දැක්වෙනවා.

කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මීට කලකට පෙර ප්‍රසිද්ධ වූයේ කොරෝනා සුවකරන කරලක් නිපද වූ බවට ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හරහා ප්‍රචාරය කිරීමෙන්. ඔහුගේ කරල පිළිගත නොහැකි බවට විශේෂඥයින් අදහස් පළ කිරීම නිසා එය අලෙවිය නතර කරන්නට ද පසුව සිදු වුණා.