ජන ජීවිතය අඩාල නොවන අයුරින් කොවිඩ්-19 වසංගතය පිටුදැකීමට ආරක්ෂණ ක්‍රමවේද නිකුත් කෙරේ

ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සමග මැයි මස 10 වනදා පැවති සාකච්චාවකදී අතිගරු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. එම සංගම්වල නියෝජිතයින්, අතිගරු ජනාධිපතිතුමන්, යුදහමුදාපති හා සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාවට එක්වුණා.

ඒ අනුව, මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස, කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා මැයි 30 වැනි දා දක්වා පහත ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

  •  සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීම
  • පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීම
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීම
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම

රජයේ මෙම වැඩපිළිවෙළ සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසයයි.

මේ අනුව, රට ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැති අතර පළාත් අතර සංචරණ සීමා පැනවීමට පමණක් පියවර ගෙන තිබෙනවා. එබැවින්, ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා.

එසේම, පූර්ණ වශයෙන් රට වසා දැමීමට තීරණය කර නැති නිසා අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට වෙළඳ සැල්වලට එක් නොවන ලෙස ද යුදහමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.