විද්වත් යෝජනා ක්‍රියාත්මකයි! සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ

මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට තිරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. කොවිඩ්-19 වසංගතය පැතිරයාම පාලනය කිරීමට අවම වශයෙන් දින දාහතරක කාලයක් රට වසා තැබීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය විද්වතුන් බොහොමයක් පසුගිය සතියේ රජයෙන් ඉල්ල සිටියා.

එසේ වසා දමා ඇති කාලය තුළ තෝරාගත් දින තුනක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කර දීමට රජය පියවරගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශ වුනා.

ඒ අනුව

  • මැයි මස 25 අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා
  • මැයි 31 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා
  • ජුනි 4 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා

කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව රජය පවසනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට ළඟම ඇති නගරයට හෝ ගමේ කඩයට යාමට අවස්ථාව ලබා දී ඇති බවත් රථවාහනවලින් ගමන් බිමන් යාමට අවස්ථාව ලබා නොදෙන බව ද රජය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

ඉහත දැක්වෙන දිනවල සංචරණ සීමා ඉවත් නොකරන බවත් එය යම් තරමක ලිහිල් කිරීමක් පමණක් සිදු කරන බව යුද හමුදාපතිවරයා සඳහා කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ සංචරණ සීමා ලිහිල් කරන දිනවල දී නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පා ගමනින් ගොස් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ලබා ගැනීමට අවස්ථාව ඇති බවයි.

එම නිවේදනය කොතරම් ප්‍රායෝගිකද යන්න පිලිබඳ මේ වනවිට සමාජ ජාලා තුල කතිකාවක් ගොඩනැගෙමින් තිබෙනවා. සංචරණ සීමා සම්බන්ධව රජය විසින් නිකුත් කෙරන සමහර තීරණ ජනතාවට කොතරම් ප්‍රායෝගිකද යන්න සලකා බැලීමකින් තොරව නිවේදන කිරීමට කටයුතු කරන බවට මේ හරහා අදහස් පලවෙනවා.

කෙසේ නමුත් කොවිඩ්-19 වසංගතය පැතිරයාම පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම වෙනවා.