රට පුරා සියලු අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසාදැමේ

රට පුරා පිහිටි සියලුම පාසල්, විශ්වවිද්‍යාල, පෙරපාසල්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (මැයි 07 දා) නිල වශයෙන් නිවේදනය කළා. මීට පෙර අප්‍රේල් මස 26 වන දා සිට දිවයින පුරා සියලු පාසල් වසා දමා තිබූ අතර එම කාල සීමාව ද වරින් වර දීර්ඝ වුණා.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇති මොහොතක, වසංගතය පැතිරීම අවහිර කිරීම සැලකිල්ලට ගෙන අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය අංශ එක්ව එම තීරණය ගෙන තිබෙනවා.

පසුගිය වසරේ කොවිඩ්-19 වසංගතය රට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූ මොහොතේ සිට සියලු පාසල් වසා දැමුණු අතර වරින් වර කිහිප අවස්ථාවක දැඩි රෙගුලාසි යටතේ පාසල් විවෘත කෙරුණා. ඒ අතරවාරයේ, මාර්ගගත ක්‍රම මගින් ඉගැන්වීම කටයුතු පවත්වාගෙන යාමට බොහෝ පාසල් කටයුතු කළා. මේ අතර, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ඡි.එල්. පිරිස් මහාතා පසුගියදා පැවති මාධ්‍ය සාකචිජාවකදී, පාසල්වල මාර්ගගත අධ්‍යාපනය විධිමත් කිරීම ගැන පුළුල් ලෙස අදාළ පාර්ශ්ව සමග සාකචිජා කර ඇති බව වාර්තා වුණා.

පසුගිය මාසයේ බොහො පිරිස් කොවිඩ්-19 මර්දන නීති අමතක කර අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු කිරීමත් සමග ම ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තෙවන රැල්ල භයානක ලෙස ව්‍යාප්ත වුණා. මේ වනවිට තෝරාගත් ප්‍රදේශ හුදකලා බවට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් තිබෙනවා.

මේ අනුව, රජයේ තීරණය ඉතා කාලෝචිත වන අතර මේ අනුව, සියලු කතෝලික පාසල් ද නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.