නව නීතිපතිවරයා පත්කෙරේ

මෙරට 48 වන නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා, මැයි මස 26 වනදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා ඇති රාජරත්නම් මහතා, නීතිපති දෙපාර්ත්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා තිබෙනවා.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇති ඒ මහතා, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබෙනවා. රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙක් ද වනවා.

2014 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන් ඒ මහතා, සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති, දීර්ඝ කාලයක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇති බව ද වාර්තාවෙනවා .

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබවූ ඔහු, ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙක්.

ජනාධිපති කාර්යාලයේ පැවති 48 වන නීතිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටි බවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.