සජිත් ප්‍රේමදාස මහතා අසත්‍ය කරුණු සිය නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති බවට චෝදනා

යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් බව පැවසෙන පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිදහස් කර ඇප ගැනීම සඳහා තම පක්ෂයට අනුබද්ධ නීතිඥයන් උදව් කළ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ව්‍යාජ ලෙස සිය නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති බවට ජනතා නීතිඥයෝ නම් සංවිධානය චෝදනා කරනවා.

ජුනි 30 දිනැතිව සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් ජනතා නීතිඥයෝ සංසදය, විපක්ෂ නායකවරයාගේ සාවද්‍ය ප්‍රකාශය නිවැරදි කරන ලෙස ඉල්ල සිටිනවා.

අත්අඩංගුවට ගත් අසේල සම්පත් මහතාට ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සඳහා පෙනී සිටි නීතිඥයින් වන්නේ සේනක පෙරේරා, මංජුල පතිරාජා, මංජු ශ්‍රී චන්ද්‍රසේන, නාලක ප්‍රියවංශ සහ ලලිත් පතිරණ යන මහත්වරුන් බව ජනතා නීතිඥයෝ සංසදය පවසනවා. එදින උසාවියේ පෙනී සිටින මෙම නීතිඥයින් කිසිවෙකු සමගි ජන බලවේගය සමඟ අනුබද්ධ නොවන බවත් එම සංසදය යවා ඇති ලිපිය මගින් අවධාරණය කරනවා.

“ඔබ ඔබේ නිල ෆේස්බුක් පිටුවේ සමගි ජන බලවේගයේ නීතිඥයින් සම්පත් මහතා වෙනුවෙන් පෙනී සිටි බව පැවසීම නිසා එදින උසාවියේ සිටි අපගේ කණ්ඩායමේ නීතිඥයින් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත්, එම ප්‍රකාශය නිවැරදි කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් ජනතා නීතිඥයෝ සංසදය ඉල්ලා සිටිනවා.

ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහත අත්අඩංගුවට ගෙන තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවයි.

එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවයි. ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණා.