සංචරණ සීමා ඉවත් කළත්, පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි 48 ඉදිරියට ක්‍රියාත්මකයි.

මේ වනවිට රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා, මැයි 17 වන සඳුදා අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව වෙනවා. කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රි 11 සිට රටටම ක්‍රියාත්මකවන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලැබුවා. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිවෙස්වලින් බැහැරවීමට අවසර හිමි නොවූ අතර මැයි මස 17 වන සඳුදා අලුයම 04 දක්වා මෙම සීමාවන් බලපැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

රාජකාරී සදහා යන අය හැර අනෙක් පිරිස් සඳහා මැයි මස 17 වනදා සිට හැඳුනුම්පත් අංක ක්‍රමය යටතේ පිටතට පැමිණීමට හැකි වන්නේ, ළඟම ඇති පාරිභෝගික ස්ථාන වෙත පමණි. ඒ අනුව, මැයි මස 17 වනදා නිවසින් පිටතට පැමිණීමට හැකි වන්නේ, තම හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවක් තිබෙන පුද්ගලයින්ට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එනම්, 1,3,5,7, 9 යන අංක ඇතිනම් පමණක් අත්‍යවශ්‍යම කාරණාවකට පමණක් නිවසින් පිටතට පැමිණීමට හැකි වෙනවා.

මැයි මස 31 දා දක්වා කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි 48 ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව, සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේදී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේදී පුද්ගල සංචරණය සීමා වනවා. එම කාලය තුළ, අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා අවසර හිමිවනවා.

මේ අතර, බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලීසිය සහ යුද හමුදාව එක්ව වාහන පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරනවා.

මෙරට පැමිණ සිටින විදේශීය සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමේ හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.