විදේශයන්හි සිට මෙරටට පැමිණෙන්නන් සඳහා වන මාර්ගෝපදේශ සංශෝධනයට

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශවල සංශෝධනයක් සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අනුව, සති 2කට පෙර නිර්දේශිත අන්දමින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීම සම්පූර්ණ කළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට මෙරටට පැමිණි පසු දින 14ක් නිවෙස් නිරෝධායනයට ලක් වීම අනිවාර්ය වෙනවා.

නමුත් ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකානු හෝ දකුණු ඇමෙරිකානු රටවල සිට හෝ දින 14ක කාලයක් තුළ ඒවායේ සංචාරය කර හෝ එම රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට නිවෙස් නිරෝධායනයට අවසර නොලැබෙන බව අමාත්‍යංශය පවසනවා.

පී.සී.ආර්. වාර්තා ලබා ගත යුතු ආකාරය

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ද්විත්ව පුරවැසියන් සියලු දෙනා කොවිඩ්-19 වැළඳී නොමැති බව තහවුරු කරන ඉංග්‍රීසි බසින් යුත් වාර්තාවක් රැගෙන ඒම අනිවාර්ය වෙනවා.

එහිදී ශ්‍රී ලාංකිකයන් ගුවන් ගත වීමට පෙර පැය 96ක් තුළ ලබා ගත් පී.සී.ආර්. වාර්තාවක් හෝ පැය 48ක් තුළ ලබා ගත් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වාර්තාවක් රැගෙන ආ යුතු වෙනවා.

ද්විත්ව පුරවැසියන් පැය 96ක් තුළ ලබාගත් පී.සී.ආර්. වාර්තාවක් රැගෙන ආ යුතු වෙනවා.

කොවිඩ් එන්නත්කරණ සහතිකය

මෙරටට පැමිණෙන්නන් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරන එන්නත් නිර්දේශිත අන්දමින් ලබා ගෙන ඇති බව තහවුරු කිරීම සඳහා එන්නත ලබා ගත් බවට වන සහතිකයේ මුල් පිටපත රැගෙන ආ යුතු වෙනවා.

එහිදී එම සහතිකය වෙනත් භාෂාවක එකක් නම් එහි සහතික කරන ලද ඉංග්‍රීසි පිටපතක් ද රැගෙන ආ යුතු වෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි පසු ක්‍රියාවලිය

මෙරටට පැමිණෙන්නන් පළමු දින නිරෝධායනය සඳහා වෙන් කර ඇති හෝටලයක, නිරෝධායන මධ්‍යස්ථානයක හෝ සුරක්ෂිත බව තහවුරු කර ඇති පළමු මට්ටමේ හෝටලයක නතර විය යුතු වෙනවා. ඒ, මෙරටට පැමිණි පසු කරනු ලබන පී.සී.ආර්. වාර්තාව අනුව ඔවුන් කොවිඩ්-19 ආසාදිතයේකු නොවන බව තහවුරු වන තෙක් පමණක් වෙනවා.

නිරෝධායනයෙන් ඉවත් වන අකාරය

පූර්ණ එන්නත්කරණය සිදු කර ඇති, මෙරටට පැමිණි පසු සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව කොවිඩ්-19 ආසාදිත නැතැයි තහවුරු වන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලින් මුදා හැරිය යුතු වෙනවා.

එලෙස මුදා හැරීමේදී ඔවුන්ට ‘විසර්ජන ලේඛනයක්’ ලබා දිය යුතු අතර ඒ පිළිබඳව තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයට විද්‍යුත් තැපෑල හරහා යොමු කළ යුතු වෙනවා.

වයස අවුරුදු 2ත් 12ත් අතර ළමුන් මෙරටට පැමිණි පුද්ගලයන් අතර සිටී නම් ඔවුන්ගේ ද මෙරටට පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කළ යුතු වෙනවා.

වයස අවුරුදු 2ට අඩු දරුවන් සමග පැමිණි අයෙකුගේ පී.සී.ආර්. වාර්තා අනුව ඔහු/ඇය කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් එම දරුවා ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු වේනවා.

නිරෝධායන මධ්‍යස්ථානවලින් මුදාහරින පුද්ගලයන් නිවෙස් කරා යාමට පොදු ප්‍රවාහන සේවාවල ගමන් නොකළ යුතු අතර ප්‍රවාහන පහසුකම් තමන් සලසා ගත යුතු වෙනවා.

නිවෙස් වෙත ගිය පසු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් නිවෙස් වෙත ළඟා වූ වහා ම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දුරකතන හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්දීමක් කළ යුතු වෙනවා.

ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පුද්ගලයන් ලංකාවට පැමිණි දින සිට දින 14ක් නිවසට වී නිරෝධායනය වීම සිදු කළ යුතු වෙනවා.

දින 14 අවසානයේ එම වැඩිහිටි පුද්ගලයන් මෙන් ම අවුරුදු 2ත් 12ත් අතර දරුවන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිත රසායනාගාරයකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර එම වාර්තාව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කළ යුතු වෙනවා.

ඉහත සෞඛ්‍ය මාර්ගෝපදේශ ජූනි මස 30 වන දා දක්වා බලපැවැත්වෙන අතර එය මෙරට සහ ගෝලීය කොවිඩ්-19 තත්ත්වය මත සංශෝධනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.