මරණ දඬුවම හිමිව තිබූ දුමින්ද සිල්වා හට පොසොන් පෝ දා ජනාධිපති සමාව

පොසොන් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත කර සිටි වැරදිකරුවන් 93 දෙනෙක්ව ජනාධිපති සමාව යටතේ නිදහස් කළ අතර ඒ සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ටද නිදහස ලබාදී තිබෙනවා.

2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා එවකට පැවති පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදායි.

එහිදී වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදායි. එදින ලබාදුන් මරණ දඬුවම දේශපාලන පළිගැනීමක් බවට පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා.

ඉකුත් වසරේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු‍ දෙනා දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් ඉදිරිපත් වූ පෙත්සමටද අස්සන් තබා තිඹුණා.

නිදහස ලැබූ දුමින්ද සිල්වා මහතා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුව නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇති බව වාර්තා වෙනවා.