සෞඛ්‍ය බලධාරින්ගේ මාර්ගෝපදේශවලට අනුගතව සුදුසු කාලේදී පාසල් විවෘත කිරීමට සැලසුම්

සුදුසු පරිසරයක් නිර්මාණය වූ වහා ම හැකිතාක් ඉක්මනින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව පාසල් විවෘත කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරනවා.

පාසල් විවෘත කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු සමග ජූනි 16 වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.

පාසල් විවෘත කිරීමේ ප්‍රථම පියවර ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් යන පාසල් පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසත් පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩලත් එන්නත්කරණය කිරීම සිදුකළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කරනවා.

රටපුරා සිටින පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් එන්නත්කරණය කිරීම සඳහා එන්නත් 249,613ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල එන්නත්කරණය කිරීම සඳහා එන්නත් 29,407ක් ද වසයේ සමස්තයක් ලෙස එන්නත් 279,020ක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරනවා.

දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් පන්ති කාමරය තුළ ගුරුවරයා සමග සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවන අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කළ යුතු බවට මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවද එහිශී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසනවා.

එන්නත්කරණය තුළින් ගුරුවරුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය මෙන්ම දෙමාපියන් තුළ විශ්වාසය ගොඩ නැඟීම ද සිදුවෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීමක් අනුව පාසල් ළමුන්ට සහ ගුරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද ප්‍රකාශ කර තිබෙනවා.