සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස්

මෙරට පරිසර හානියට ප්‍රධාන හේතුවක් වන සියලුම වර්ගවල ලන්ච්ෂිට් තහනම් කිරීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නා.

2016 වසරේදී එවකට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලන්ච්ෂිට් තහනම් කිරීම ක්‍රියාත්මක කළද කඩිනමින් දිරාපත් වන ලන්ච්ෂිට් හදුන්වාදෙන බවට ඇතැම් සමාගම් ප්‍රකාශ කිරීම නිසා එම වැඩපිළිවෙල නිසිපරිදි ක්‍රියාත්මක නොවු බව වත්මන් පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ලන්ච් ෂීට් වෙනුවට විකල්ප හඳුන්වා දීම සඳහා පියවර ගන්නැයි අදාල සමාගම්වලට උපදෙස් දී ඇතත් ඔවුන් ඒ සඳහා මේ දක්වා පියවර ගෙන නොමැති බවද වාර්තා වෙනවා.

දැනට ලොව කිසිදු රටක ලන්ච්ෂිට් භාවිත නොවන බවත් ලැබි ඇති තොරතුරු අනුව ප්‍රධාන සමාගම් හතරක් මාසිකව ලන්ච්ෂිට් ටොන් 07 ත් 08 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් සඳහන් වුණා. ඒ අනුව වාර්ෂිකව ලන්ච්ෂිට් ටොන් 106 ක් පමණ රට තුළ භාවිත කෙරෙන අතර ඒ හේතුවෙන් දිනකට පරිසරයට බැහැර කෙරෙන ලන්ච්ෂිට් ප්‍රමාණය මිලියන 10 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

මේවා පසෙහි දිරාපත්වී නොපෙනීියාම වසර දෙක තුනකින් සිදු වූවත් පසට එකතු වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වසර 200 කට වැඩි කාලයක් පවතින බව විද්‍යාත්මක සනාථවී තිබෙනවා.

මීට පෙර අවස්ථාවන්වල දී ලන්ච් ෂීට් තහනම් කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබු බැවින් නව ගැසට් පත්‍රයක් පළකිරීමෙන් තොරව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව ද පරිසර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.