කොවිඩ්-19 ආසාදිතව අසාධ්‍ය රෝගීන්ට ලබා දෙන එන්නත මෙරටට ලබා ගැනීමට බාධා

කොවිඩ්-19 ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ”ටොසිලි සුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව වාර්තා වෙනවා.

එම එන්නත් වෙනත් රටවලට ලබාදීම සිංගප්පූරුව විසින් වලක්වා තිබීම මෙම බාධාවට හේතු වී තිබෙනවා. තම රටට ද හදිසි භාවිතය සදහා එම එන්නත් අවශ්‍ය විය හැකි බැවින් කිසිඳු එන්නතක් රටින් බැහැර කිරීම වැලැක්වීමටයි සිංගප්පූරු රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලි සුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී යන්නේ එම එන්නතට රට තුල දැඩි ඉල්ලුමක් පවතින මොහොතක බව පැවසෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩිනමින් එම එන්නත් මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන් ද තීරණය කර තිබුණා.

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලි සුමාබ්” නමැති එන්නතට මෙරට තුල දැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමඟ එම එන්නතට කලුකඩ වෙලදපොලක් ද නිර්මාණය වී ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණා.

රුපියල් 113,000ක් පමණ වන මෙම එක් එන්නතක් මෙරට කලුකඩ වෙළඳ පොළේ රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර මිලකට මේවනවිට අලෙවි වන බවයි එහිදි තවදුරටත් අනාවරණය වුනා.

සෞඛ්‍ය බලධාරීන්ට පවා සොයා ගැනීමට නොමැති මෙම එන්නත් මෙරට කලු කඩ වෙළඳ පොළේ ඇත්තේ කෙසේදැයි සොයා බැලීමේදී මෙරට ඇතැම් පාර්ශව ඉන්දියාවේ සිටින හිතවතුන් හරහා ගුවන් යානා කපිතාන්වරු මාර්ගයෙන් එම එන්නත් මෙරටට හොර රහසේ ගෙන එන බව හෙළිවී තිබුණා.

මේ පිළිබඳ කළ විමසීමකදී, මෙලෙස ගෙන එන එන්නත් මෙරට තුලදී නිසි නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන බව ඉහළ සෞඛ්‍ය බලධාරියෙකු ප්‍රකාශ කළ බව ද සඳහන් වෙනවා.