සංචරණ සීමා සහ නිරෝධායන නීති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ පොලීසියට උපදෙස් මාලාවක්

සංචරණ නීති නිවැරදිව ක්‍රියාත්මක වේදැයි සොයාබැලීමට වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී, මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස, පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට බැනවැදීම් සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව පොලිස්පතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

එවැනි අවස්ථාවන්ට මුහුණදෙන පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බව ද පොලිස්පතිවරයා සඳහන් කරනවා.

මේ නිසා, වහාම ක්‍රියාත්මක වන පරිදි, පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, එවැනි ක්‍රියා ඉදිරියේදී වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබෙනවා.

ඇතැම් මාර්ග බාධකවල වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී කැමරාකරුවන් ද සිටින බවට පසුගිය දිනවල වාර්තා වුණා. ඇතැම් මාර්ග බාධකවල කැමරාව ඉදිරියේ පමණක් ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට බැනවැදීම් කිරීම් සිදුකරන බවත් වාර්තා වෙනවා.

මේ අතර, සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා ඉදිරියටත් පොලිස් මෙහෙයුම් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.