දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා නව මාර්ගෝපදේශ

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව, ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු පැමිණෙන රටේ පැය 72කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවයි.

මෙම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොළ දෙක සඳහා ම අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බවත් එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

එහෙත් ලාංකීකයන්ට ගුවන්තොටුපොළේදී හෝ රැඳී සිටින හෝටලයේදී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙක් නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකි වනවා.

එහිදී, 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකි වනවා.