ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය මැයි 14 වන සිකුරාදා

මැයි 12 වනදා රාත්‍රී නව චන්ද්‍රයා දර්ශනය නොවූ බැවින් මැයි 14 වන සිකුරාදා ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

මෙවර රාමසාන් උත්සව දිනයේ දී රාමසාන් යාච්ඤා නොපැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර ඇති බව, ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා.

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ආගමික සිද්ධස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් වළක්වාලන සෞඛ්‍ය මඟපෙන්වීම් සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹී ඇත. ඒ අනුව, සියලුම මුස්ලිම් පල්ලි, රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතු බව සඳහන් වෙනවා.

එමෙන්ම, රාමසාන් උත්සව දිනයේ නිවසේ සිට පවුලේ අය සමග යාච්ඤා කර ඊදුල් ෆිතර් උත්සවය සමරන ලෙස සියලුම මුස්ලිම්වරුන්ට දන්වා තිබෙනවා.

මැයි 13 වනදා රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා පැනවෙන බව, යුද හමුදාපතිවරයා මැයි 12 වනදා ප්‍රකාශ කළා. ඒ අනුව, එම කාලය තුළ ගමනාගමන කටයුතුවලට අවසර හිමිවන්නේ, අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.