ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබා දෙන පුවත මෙරට ජපන් තානාපති කාර්යාලය විසින් සනාථ නොකරයි.

කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණය වෙනුවෙන් යොදා ගන්නා ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජපානයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි පසුගිය දිනවල පළ වූ වාර්තා තහවුරු කිරීමට කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙරට ඩීඅලි මිරර් පුවත්පත විසින් කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී අදාළ ප්‍රකාශය තහවුරු කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව එම පුවත් පත වාර්තා කර තිබෙනවා.

ඒ අතර ජපානය නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30ක පමණ ප්‍රමාණයක් වෙනත් රටවලට වෙන් කරන බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇති බවද සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මෙරටට දෙවෙනි මාත්‍රාව ලබාදීමට අවශ්‍යව ඇති ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණයක් ලබා දෙන්නැයි ජපානයෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා වාර්තා කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ජපාන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම යහපත් ප්‍රතිචාර ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණා. මීට පෙර චීනයේ නිෂ්පාදිත එන්නතක් සම්බන්ධව එම මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කළා.