සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා දක්වා

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ නිවේදනය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන ප්‍රකාශයට පත් කළා. මේ වන විට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති සංචරණ සීමා, ලබන ජුනි මස 7 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව, කලින් ප්‍රකාශ කළ පරිදි, මැයි 31වනදා සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇති. මැයි මස 25 වන දා සංචාරණ සීමා ලිහිල් කළ අවස්ථාවේදී, ජනතාව, සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම තීරනයට එළඹ තිබෙනවා.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට කටයුතු සලසා තිබෙනවා. නාගරික සහ අර්ධ නාගරික සීමාවන් තුළ පිහිටි සුපිරි වෙළඳ සැල් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ Online ක්‍රමයට මුදල් ගෙවා ගෙදරටම ගෙනවා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතිනවා.

කොවිඩ්-19 වසංගතය පැතිරයාම පාලනය කිරීමට අවම වශයෙන් දින දාහතරක කාලයක් අඛන්ඩව රට වසා තැබීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය විද්වතුන් බොහොමයක් රජයෙන් ඉල්ලා සිටියා.