සංචරණ සීමා ලිහිල් කිරීම් යළි සලකා බැලීමට!

රජය මගින් රටපුරා පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා පනවා ඇති කාලසීමාවේ ලබා දුන් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් ගැන යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

විවිධ රැකියාවල යෙදෙන අයගේ පහසුව සඳහා ලබා දී ඇති සහන සහ නීති ලිහිල් කිරීම සමහර පුද්ගලයන් විසින් අවභාවිතා කරන තත්ත්වයකට පැමිණ ඇති බවක් පෙනෙන්නට ඇතැයි ඔහු පවසනවා. එබැවින් කොවිඩ්-19 වෛරසය පැතිරයාම පාලනය කිරීමට නම් එසේ කිරීමෙන් වළකින ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කරනවා.

ජනතාව එසේ හිතුමතේ කටයුතු කළහොත් කොවිඩ්-19 වෛරසය පැතිරයාම පාලනය දුෂ්කර වනු ඇතැයි ද පවසන ඔහු, බොහෝ දෙනෙකුගේ හැසිරීම ඉතා යහපත් වුව ද ඇතැමුන්ගේ හැසිරීම ඉතාමත් නරක බව කියා සිටිනවා.

කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයක ජනතාවගේ තරමක වැඩිවීමක් දක්නට ලැබුණු බව ද පැවසූ යුද හමුදාපතිවරයා, පවතින වැඩපිළිවෙළේ ඇති අඩුපාඩු නිරීක්ෂණය කර ඒවා වැළැක්වීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ද පවසනවා.

රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් ඇති වුවත් බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණ දීමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ද පසුගියදා ප්‍රකාශ කළා.