ඒලියන්ත වයිට් නමින් ප්‍රචලිතව සිටි ඉමේෂ් රංගන මහතා කොවිඩ්-19 ආසාදනයෙන් අභාවප්‍රාප්ත වේ

කොවිඩ්-19 ආසාදනය වීමෙන් රෝහල්ගත්ව ප්‍රතිකාර ලබමින් සිටි, කුණ්ඩලිනී ශක්තියෙන් ප්‍රතිකාර කරන වෛද්‍ය ඒලියන්ත වයිට් ලෙසෙන් ප්‍රචලිත වූ ඉමේශ් රංගන මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

රට පුරා කොවිඩ්-19 පැතිරයාම වැළැක්වීමට ගංගාවලට පිරිත් පැන් මුට්ටි එක් කිරීම නිසා පසුගිය වසරේ ඔහුගේ වෛද්‍ය ඒලියන්ත වයිට් නාමය නැවත් වරක් රට තුළ ප්‍රචලිත වුණා. කලකට පෙර වැලිසර නාවික හමුදා කඳවුර තුළ පැතිරගිය කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ වගකීම තමන් භාරයට ගත් ඒ මහතා, ගුවන් සේවිකාවක ඇතුළු තවත් බොහෝ පිරිසකට ප්‍රතිකාර කළ බවත්, ඉන්දියාවේ කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමට කටයුතු කිරීමට ආරාධනා ලැබී ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. නමුත් එම පුවත ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබූ බවත් පසුව වාර්තා වුණා.

මෙරට ප්‍රභූ පුද්ගලයන්ට මෙන් ම දෙස් විදෙස් ටිකට් ක්‍රීඩකයන්ගේ භෞතික චිකිත්සක ලෙස ද කටයුතු කළ ඒ මහතා ඇතුළු පවුලේ අය, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව පසුගියදා වාර්තා වුණා. රෝහල්ගතව සිට ලද බටහිර වෛද්‍ය ප්‍රතිකාර නිසා යම් තාක් දුරට සුවයට පත් වූවත් නැවත වරක් ඇතිවූ සංකූලතා නිසා කරාපිටිය රෝහලේ ඇති විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක ආධාරය සහිතව ප්‍රතිකාර සඳහා යොමු කළ බව ද වාර්තා වුණා.

මිය යනවිට 48 වන වියෙහි පසු වූ ඉමේෂ් රංගන මහතා, වෛද්‍ය ඒලියන්ත වයිට් නමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය උපදේශකවරයකු ලෙසද කලක් කටයුතු කළා.