කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත්ත ද සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම පිළිපදින්න.

කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, පෞද්ගලික රූපවාහිණී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා.

ඒ සඳහා, රටවල් කිහිපයක් සමග මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක පමණ ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍යව වන අතර අදාළ එන්නත් ප්‍රමාණය කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා බවත් එම සාකච්ඡාවේදී ඒ මහතා තවදුරටත් සඳහන් කළා.

මේ වන විට, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද සඳහන් කළා. තම ජාත්‍යන්තර සබඳතා උපයෝගී කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව අදාළ එන්නත් තොග ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඇය කියා සිටියා. එබැවින්, කොළඹ ජනතාව දෙවන මාත්‍රාව ලබා දීමට ඉක්මනින් කටයුතු කරන බැවින් ඒ පිළිබඳ කිසිදු කලබලයක් නොවියයුතු බවත් ඇය ප්‍රකාශ කළා.

එන්නත් ලබාගත්ත ද වෛරසයට ඔරොත්තු දීමේ හැකියාව සිරුරේ වර්ධනයවීමට යම් කාලයක් ගත වන බැවින් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම අනුගමනය කිරීම එන්නත් ලබාගත් සියලුදෙනාටත් අනිවාර්ය වනවා.

කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තද එමගින් සම්පූර්ණයෙන් වෛරසයෙන් ආරක්ෂාවීමක් සිදු නොවන බව ද එන්නත් දෙකම ලබාගත අයට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමට හැකි වනවා සේ ම මෙතක් ලැබී ඇති දත්ත අනුව, ලොව පුරා එන්නත් දෙකම ලබාගත් 15 දෙනෙක් කොවිඩ්-19 නිසා මරණයට පත්වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.