ලබන අගෝස්තුවේ සිට තවත් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වර්ග 08ක් තහනමට

මේ වසරේ අගෝස්තු මස 01 දා සිට මෙරට සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් බවත්, එම ලන්ච්ෂීට් භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වර්ග 08ක් තහනම් කිරිමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අද ජුලි මස 14 වනදා අත්සන් තබන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ අනුව පහත නිෂ්පාදන ලැයිස්තුව තහනම් කෙරෙන බව සඳහන් වෙනවා

  • වරක් භාවිතා කරන ලද බීම බට හා කළතන.
  • තනි භාවිතයට ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත යෝගට් හැඳි හා ප්ලාස්ටික් පිහි, හැදි, ගෑරුප්පු.
  • පරිමාව 400X500 වලට වඩා අඩු ෂොපිං බෑග් (සාප්පු බෑග්)
  • ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි
  • පොලිතින් සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්
  • ප්ලාස්ටික් මල්මාලා
  • ප්ලාස්ටික් කෝප්ප
  • ලන්ච්ෂීට්

මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙළිකරගන්නා ලද නවතම තොරතුරු අනුව මේ රටේ දෛනික ලන්ච්ෂීට් භාවිතය ඉහළ ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව දිනකට අපේ රටේ භාවිතා කරන ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 12-15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මින් 1% ක්වත් ප්‍රතිචක්‍රියකරණය නොකරන අතර මහජනතාව විසින් මිල දී ගන්නා ලන්ච්ෂීට් සියල්ල පරිසරයට මුදා හැරීම සිදු කරන බව හඳුනාගෙන තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළා.