ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලු පිලිබඳ අගමැති සමග සාකච්ඡා විසඳුමකින් තොරයි

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලු සඳහා විසඳුම් බලාපොරොත්තුවෙන් ජුලි මස 27 වනදා දිනයේ අගමැතිවරයා හමුවුවත් සාකච්ඡා අවසන් වූයේ එකඟතාවයක් හෝ විසඳුමකින් තොරව බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

අදාළ සාකච්ඡාවලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගැටලු විසඳන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ද ඉදිරියට පවත්වනු ඇති බවය. අද පැවැති සාකච්ඡාවේදී පැය 2කට ආසන්න කාලයක් අදාළ අනුකමිටුව සමග සාකච්ඡා කළ බවද පවසනවා.

දින 16ක් මේ අරගලයට සාකච්ඡා මගින් කිසිම සාධනීය ප්‍රවේශයක් සිදුවූයේ නැති බවත් කැබිනට් අනුකමිටුවක් මගින් ප්‍රශ්නය විසඳන තුරු ඉවසීමෙන් සිටීමට පැවසූ බවත් ඔවුන් සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන පරිදි සියලු ප්‍රශ්න ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් තවත් කැබිනට් පත්‍රිකාවකින් ප්‍රශ්නය විසඳන්නෙ නම් එය සිදුවන තුරු වර්ජන ක්‍රියාමාර්ග ඉදිරියට ක්‍රියාත්මක බවත් ඔවුන් සඳහන් කරනවා.

මේ අතර  ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.