ඩෙල්ටා kovid-19 වෛරස ප්‍රභේදය සුළුකොට තැකිය හැක්කක් නොවේ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය සුළුකොට තැකිය හැක්කක් නොවන බව පෙන්වා දෙන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක විධි විධාන තර කිරීම සඳහා ලැබී ඇති තොරතුරු හොඳට ම ප්‍රමාණවත් යැයි අවධාරණය කරනවා.

ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් තිදෙනකු මේ වනවිට වාර්තා වී ඇති බවත් එම වෛරස ප්‍රභේද ආසාදිතයන් තවදුරටත් වාර්තා වීමේ අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් සඳහන් කරනවා.

මෙතෙක් පවත්වා ගෙන ගිය අයුරින් ම ආරක්ෂක විධිවිධාන තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම්, වෛරසය පැතිරීම පුරෝකථනවල දක්වා ඇති ආකාරයට ම අවම සංඛ්‍යාවකට ගෙන ඒමට හැකියාවක් ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

මුව ආවරණ නිසි අයුරින් පැළඳ සිටී නම් වෛරස ව්‍යාප්තිය සිදු නොවන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එක් පුද්ගලයකුගේ ලිහිල් වීමක් සමස්ත පරිසරය ම විනාශ වීමට රුකුලක් වනු ඇතැයි සඳහන් කරනවා.

එවැනි රෝගීන් කැඳවීමෙන් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකි යැයි පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා උණ රෝගයෙන් පෙළෙන සේවකයන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙසට ද දැනුම් දෙනවා.

මේ අතර, වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන් ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වළකින ලෙස ද හේරත් මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කරනවා.