21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මුළු දිවයිනටම සංචරණ සීමා

21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පනවනු ලබන සංචරණ සීමා, ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

අනතුරුව, නැවත 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පනවනු ලබන සංචරණ සීමා 28 වන සිකුරාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වෙනවා.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා, වෙසක් සතිය නිමිත්තෙන් සිදුවන මහජන ඒකරාශිවීම් වැළැක්වීමේ මූලික අරමුණින් අදාළ පියවර ගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

සංචරණ සීමා ලිහිල් වන 25 වන අඟහරුවාදා දින ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් වන අයට සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතිනවා.