චීන රජයේ ප්‍රදානයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරුණු ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පැවරේ

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඊයේ ජුනි මස 11 දා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රරධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. හිටපු ජනාධිපති මෛත්‍රීරපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස මෙම රෝහල් සංකීර්ණය මෙරටට හිමි වුණා.

චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වර්ග මීටර් 25917කින් සමන්විත හෙක්ටයාර 6.64 භූමි ප්‍රදේශයක ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16 ක භූමි ප්‍රමාණයක විහිදී තිබෙනවා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1200 ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවූ කාලය මාස 30 කි.

වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05 කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයිය හැකි අතර දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20 ක් වෙනවා. යන්ත්‍ර 100 කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අතිනවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී. ටී. ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මෙයට අයත් වෙනවා. වාහන 300 ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබෙනව.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කළා. හිටපු ජනාධිපති මෛත්‍රීරපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ශ්‍රී ලංකාවේ චීන තානාපති වී. චෙන්ග් හොන්ග් යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂ ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුණා.