ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස අසත්‍ය පුවත් නිර්මාණය කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද රජීව් මැතිව් යසිරු කුරුවිටගේ නමැත්තා ජුනි මස 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මොහු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කර තිනුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු විසින් “ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සැකකරුගේ වෙබ් පිටුවේ පළකර ඇතැයි කරුණු දැක්වූවා. ඒ සමගම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමින් සමාජ මාධ්‍ය පිටුවක් ද ඔහු විසින් පවත්වාගෙන යන බව එම නිලධාරීන් සඳහන් කළා.

මෙම සැකකරු විසින් සිදුකළ ඉහත අසත්‍යය ප්‍රචාරය තුළින් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද බරපතළ අගතියක් සිදු වී ඇති බව එම නිලධාරීන් කරුණු දැක්වූවා.

මෙම පුද්ගලයා මීට පෙරද වගකීම විරහිතව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමින් මාධ්‍ය නිවේදන නිකුත් කර තිනුණා. බොහො තොරතුරු තාක්ෂන විද්වතුන් මෙම සංගමය පිලිබඳ විමතිය පළ කර තිබූ අතර මේ වන තුරුත් මොහු හැර මෙම සංගමයේ වෙනත් සාමාජිකයන් පිළිබඳ වාර්තා වී නැත.