ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව අති විශේෂ ගැසට් නිවේදනයක්

ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින්, අංක 2226/59 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළා. එහි සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය ඊයේ සිට බලාත්මක වනවා.

ඒ අනුව, බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණනු ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව මෙම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. පොල්තෙල් ආනයනකරුවන්ගේ සිට පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් දක්වා සියලුම දෙනාට මෙම නියෝගය බලපැවැත්වෙනවා.

2016 වසරේදී එවකට ඇමතිවරයෙකුව සිටි රිෂාඩ් බදියුදීන් විසින් පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම අනුමත කරමින් එවකට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් වුණා. එම ගැසට් නිවේදනය ප්‍රකාරව පසුගිය කාලය පුරාම පොල්තෙල් හා ෆාම් තෙල් මිශ්‍ර කිරීම සිදු වූ බවත් අදාළ ගැසට් නිවේදනය වහාම අවලංගු කළ යුතු බවටත් පසුගිය කාලයේ බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කළා.

මේ අතර, ඇෆ්ලටොක්සීන් නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු, පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් මේ වන විට මැලේසියාව බලා ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව ඇති අතර අදාළ පොල්තෙල් බහාලුම් රැගෙන යෑම සඳහා නෞකාවක් කොළඹ වරායට ළගාවී ඇති බව ද වාර්තා වුණා.

ආනයනික පොල්තෙල් පිළිබඳවත් එම පොල් තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය බහුලව අන්තර් ගතව ඇති බවටත් තහවුරු වී ඇති මොහොතක, පිරිසිදු පොල්තෙල් පාරිභෝජනය පිළිබඳව නියාමනයක් නිකුත් කරතිබීම ජනතාව ලැබූ ජයග්‍රහණයක්. ඒ සමග ම, පොල්තෙල් දේශීය වශයෙන් නැවත නිෂ්පාදනය කිරීම පිළිබඳවත් නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙනවා.