පූජ්‍ය බද්දේගම සමිත හිමිපාණෝ ජනතා සෝ සුසුම් මැද ආදාහනයේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන් ම දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කොවිඩ්-19 වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මැයි මස 30දා අලුයම අපවත් වුණා.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට දී අපවත්වූ ප්‍රථම භික්‍ෂුන් වහන්සේ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් බව මාධ්‍ය වාර්තා කළා.

අපවත්වීමට දින කීපයකට පෙර කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් උන්වහන්සේ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා නැවත උන්වහන්සේ වැඩ සිටි බද්දේගම, ගොතටුව ශ්‍රී පාද චෛත්‍යාරාම විහාරස්ථානයට වැඩම කර එහි දින 10ක පමණ කාලයක් වැඩ සිට තිබෙනවා.

එම විහාරස්ථානයේ වැඩ සිටින අතරතුර යළි ඇතිවූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්, උන්වහන්සේ ඉකුත් මැයි 27දා රාත්‍රියේදී මාතර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්ව එහි දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී, මැයි 30දා අලුයම අපවත්ව තිබෙනවා.

උන්වහන්සේගේ අපවත්වීම, කොවිඩ්-19 නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති බවත් අපවත් වන විට 69 වැනි වියෙහි පසුවූ උන්වහන්සේ උග්‍ර පෙණහලු ආබාධයකින් පෙළී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

1952 වසරේ සැප්තැම්බර් මස 14 වැනි දින උපත ලබා ඇති පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ, 1965 වසරේ ජුනි 24 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වූ බව සඳහන් වෙනවා. උන්වහන්සේ පූජ්‍ය ගනේගම සරණංකර නාහිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ නමක්.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී හිමිනමක් ද වන උන්වහන්සේ, එංගලන්තයේ ලැන්කෂයර් විශ්වවිද්‍යාලයේ තුලනාත්මක ආගම් හා දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද හිමිකරගෙන තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයකු වශයෙන් ද කටයුතු කර ඇති උන්වහන්සේ ජනතා අරගලවලදී පෙරමුණේ සිටි හිමිනමක් වෙනවා.

1991 වසරේදී ලංකා සම සමාජ පක්‍ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇති පූජ්‍ය බද්දේගම සමිත හිමියන්, 1996 හා 2006 යන වසරවලදී බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර 2000 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ද තේරී පත්වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර 2001 වර්ෂයේදී මනාප ඡන්ද 42,120ක් හිමිකර ගෙන ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සමිත හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්වූ ප්‍රථම හිමිනම ලෙස ඉතිහාස ගතව තිබෙනවා.

නැවත 2014 කාලවකවානුව තුළදී දකුණු පළාත් සභාව නියෝජනය කළ උන්වහන්සේ, ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු මෙන් ම මාධ්‍ය ප්‍රකාශකයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත්, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නාහිමි, බද්දේගම හැඩිදෙමළකන්ද රජමහ විහාරාධිපති ගඟබඩ සහ වැල්ලබඩ පත්තුවේ අධිකරණ සංඝනායක පූජ්‍ය වැලිවිටියේ සුමන නාහිමි ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් බද්දේගම නගර ශාලාවේදී සිදු කරනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු විසින් එවා තිබූ ශෝක ප්‍රකාශ, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එවා තිබූ ශෝක ප්‍රකාශය බද්දේගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මංජුල ලියනගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව පුද කිරීම සඳහා බද්දේගම නගරයේ ප්‍රධාන මාර්ග දෙපස විශාල ජනතාවක් රැස්වී සිටි බව වාර්තා වුණා. රිය පෙරහරකින් සමිත හිමිගේ ශ්‍රී දේහය බද්දේගම නගරය මැදින් බද්දේගම ආදාහනාගාරය වෙත වැඩම කරවා, ජනතා සෝ සුසුම් මැද, කොවිඩ්-19 රෙගුලාසිවලට අනුව ආදාහන කටයුතු සිදු කරනු ලැබුවා.

ආදාහන පූජෝත්සවය සඳහා දකුණු පළාත් දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන්, ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ බව වාර්තා වුණා.