සිකුරාදා රාත්‍රියේ සිට රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුමක්?

කොවිඩ්-19 වෛරසය රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යාම පාලනය කිරීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුම් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබුණා.

රට සති කිහිපයකට හෝ වසා තබන ලෙස මල්වතු – අස්ගිරි පාර්ශ්වවල මහ නාහිමිවරුන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ඇතුළු පාර්ශ්ව රැසක් ඉල්ලීම් කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, රට වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ, රට වසා දැමීමක් ගැන ආරංචි පැවතිය ද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති අතර නිල ප්‍රකාශයක් ද කර නොමැති බවයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ, එවැන්නක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවයි.

මේ අතර, රටේ ප්‍රදේශ රැසක ව්‍යාපාරික ප්‍රජාව සහ පළාත් පාලන ආයතන විසින් ප්‍රදේශ රැසක් ස්වයං හුදෙකලාභාවයට පත්කර තිබීම නිසා ජනතාව නිරායාසයෙන්ම හුදෙකලාභාවයට පත් වී තිබෙනවා.