”ලොව සැම දෙනා සුවපත් වේවා’ යන තේමාවෙන් 2329 වන පොසොන් පිංකම අනුරාධපුරදී

”ලොව සැම දෙනා සුවපත් වේවා’ යන තේමාව පෙරදැරි කරගෙන බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව 2329 වන පොසොන් මහා පිංකම අනුරාධපුරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවරත් ඓතිහාසික මහින්දාගමනය සිහි කරමින් පවත්වන රාජ්‍ය පොසොන් උත්සවය මෙවර මිහින්තලා රාජමහා විහාරස්ථාන පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුදැනුම පරිදි අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය යන විහාරස්ථානවල ආගමික වතාවත් සංවිධානය කර ඇති බව පොසොන් උත්සව කමිටුවේ සභාපති අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්. එම්. වන්නිනායක මහතා සඳහන් කරනවා.

ජුනි මස 24 වැනිදාට යෙදී ඇති පොසොන් පොහොය දිනයට සමගාමීව ජුනි 21 දා සිට 27දා දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. පොසොන් සතිය තුළ මිහින්තලා පුදබිමෙහි විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන රතන සූත්‍ර සජ්ඣායනාවක් ද පැවැත්වෙනවා.

ලේක්හවුස් ආයතනය පනස් නව වැනි වරටත් (59) මිහින්තලා පුදබිමේ පවතන පොසොන් ආලෝක පූජාව මෙවරත් ජුනි මස 23, 24 හා 25 යන තෙදින පැවැත්වීමට කටයුතු සලසා තිබෙනවා. මෙම ආලෝක පූජා අවස්ථාවන්ට මහා සංඝරත්නය සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන බව සඳහන් වෙනවා.

වෙනදා මෙන් ජනතාවට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට නොහැකි නිසා මිහිඳු මාහිමි තමන්ගේ නි‍ෙවසට වැඩම කළා යැයි ප්‍රාර්ථනා ඇතිව සිත කය වචනය සංවර කර ගෙන මිහිඳු මා හිමියන් උදෙසා පුද පූජාවන් පවත්වන ලෙසත් සෑම නි‍ෙවසකම බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙසත් මහා සංඝරත්නය සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.