මෙවරත් රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

මැයි මස 23 වනදා සිට යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ උපදෙස් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව, බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, පවතින තත්ත්වය යටතේ මෙවර වෙසක් පොහෝ දින ආගමික වතාවත්, නිවසට වී සිදු කරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනතාවගන් ඉල්ලා සිටී. අත්හිටවූ රාජ්‍ය වෙසක් උත්සවය ඉදිරියේදී වෙනත් ස්ථානයක පැවැත්වීමට සැලසුම් කරන බව, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් සඳහන් කරයි.

2020 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරීම, හොරණ ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේදී පැවත්වීමට සැලසුම් කළ ද, එවකට පැවති කොවිඩ්-19 වසංගතය නිසා එය උත්සවාකාරයෙන් පැවැත්වීමට හැකියාව ලැබුණේ නැත. එහෙත් ආගමික වතාවත්වලට මුල් තැන ලබා දී රාජ්‍ය වෙසක් උත්සවයේ සියලු මූලික කටයුතු ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේදී සිදු කරන ලදී.

ජනතාව අලුත් අවුරුදු සමය ගත කළ කාලයේ ප්‍රතිඵල මැයි මස මුල් කාලයේ දී ලැබෙනු ඇති බවත් සෞඛ්‍ය පුරුදුවලට අනුගතවෙමින් අලුත් අවුරුද්දට කටයුතු කර රටෙන් කොවිඩ්-19 තුරන් කිරීමට සහයෝගය දක්වන්න ලෙසත් අප්‍රේල් මස 13 දා මාධ්‍ය අමතමින් යුද හමුදාපතිවරයා පැවසුවා. අලුත් අවුරුදු සමයේ රජය විසින් නිකුත් කරන ලද කොවිඩ් මර්දන නිර්දේශ නොසලකමින් ජනතාව හැසිරීම නිසා, මේ වනවිට ශ්‍රී ලංකාව දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටී.