2021 කතරගම ඇසළ මංගල්‍යය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රයන්වලට පමණක් මුල් තැන දෙමින්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2021 වාර්ෂික ඇසළ මංගල්‍යය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රයන්වලට පමණක් මුල් තැන දෙමින් ජුලි 10 වැනි දින සිට ජුලි 23 වැනි දින අවසන් මහා පෙරහැර පවත්වා ජුලි 24 වැනි දින දිය කැපීමෙන් පෙරහැර අවසන් කිරීමට මොණරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතා ප්‍රමුඛ පෙරහර සංවිධායක මණ්ඩලය ජුනි මස 03 වනදා පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව තීරණය කළා.

කතරගම දෙවිඳුන් හා වල්ලි අම්මා අතර මංගල උත්සවය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන ඇසළ මංගල්‍ය චාරිත්‍ර අනුව කප් සිටුවා දින 45 කට පසුව ඇසළ පෙරහර ආරම්භ වන අතර නැකැත් යෙදීම අනුව ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දින 15 ක් හෝ 16 ක් ගතවෙනවා. ඇසළ මංගල්‍යයේ අවසාන දින තුනේදී තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවියන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම විශේෂ චාරිත්‍රයක් වෙනවා. ඇසළ මංගල්‍යය හා බැඳුණු චාරිත්‍ර විධි සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකි අතර නැකැත් වලට අනුව දෙවියන් වෙනුවෙන් ඉටුකෙරෙනා පාරම්පරික චාරිත්‍ර බොහෝමයක් අවසන මහ පෙරහර පවත්වා දිය කැපීමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහර මංගල්‍යයේ සියලූ කටයුතු හමාර වෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන වලට අනුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහතුන් සහ රාජකාරි මණ්ඩලයේ කිහිප දෙනෙකු එක්ව 2021 ඇසළ මංගල්‍යය සඳහා පුරාණ චාරිත්‍රය වන කප් සිටුවීමේ චාරිත්‍රය මැයි මස 27 වනදා යෙදුණු සුබ මොහොතින් දේවාලය තුළ දී සිදු වුනා.

මෙවර ද පාද යාත්‍රාව සිදු නොකර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අවසරය මත සෞඛ්‍ය උපදෙස් පරිදි කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය චාරිත්‍රයන්වලට පමණක් මුල් තැන දෙමින් පැවැත්වීමට කටයුතු සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරනවා. ශතවර්ෂ ගණනාවක් පුරා කතරගම ඇසළ මංගල්‍යය සඳහා සමයේදී ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්ගෙන් බොහෝ බැතිමතුන් පාද යාත්‍රා අරඹන අතර ඔවුන් යාල මහ වනය මැදින් පාගමනින් කතරගම පුද බිමට ලඟා වෙනවා. පාගමනින් මේ චාරිත්‍රයේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන් මසකට ආසන්න කාලයක් සඳහා කුමණ සහ යාල වනෝද්‍යාන විවෘතකර තැබීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.