හෙට සිට කොවිඩ් එන්නත ලබාදෙනවා.

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කියයි

සෞඛ්‍ය අංශයේ සියලු දෙනාට  මුලින්ම එන්නත  ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එහිදී රෝගීන් සමඟ ගැටෙන සෞඛ්‍ය  සේවයේ ඉදිරිපෙළ සේවකයන්ට තමයි මුලින්ම දෙන්න කටයුතු කරන්නේ. ඔවුන් වෛද්‍යවරුන්, හෙද  හෙදියන්, සුළු  සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වෙන්න පුළුවන්. කිසිම බෙදීමක් කරන්නේ නෑ.

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකය ම මේ වන විට දැඩි භීතියෙන් වෙළාගත් රකුසකු ලෙස කොරෝනා වයිරසය හැඳින්විය හැකි ය. ලොව පුරා මිලියන ගණනක ජීවිත අනපේක්ෂිත අයුරින් බිළිගත් මෙකී වයිරසය තවත් නොනැවතී ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. එය මැඩලීම පිණිස කරන ලද විශේෂ පරීක්ෂණ ඇසුරෙන් සොයා ගත් එන්නත් කිහිපයකි. ඒ අතරිනුත් එක් එන්නතක් අද ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත ය. අද දින උදෑසන 11ට පමණ විශේෂ ගුවන් යානයකින් එම එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත අතර ඒ පිළිබඳ සහ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් මෙන් ම පැතිරී යන කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සමඟ කළ සංවාදයකි මේ.

l අද ලංකාවට ලැබෙන කොවිඩ් මර්දන එන්නත භාර ගැනීමට තිබෙන සූදානම කොහොම ද?

කොවිඩ් මර්දනයට ලෝකයේ නිෂ්පාදනය වන එන්නත් අතරින් හොඳම එන්නත බවට හඳුනාගත් එන්නත තමයි අප අද ලංකාවට ගේන්නෙ. සාමාන්‍යයෙන් යම් එන්නතක් ගෙන්වීම පිළිබඳ කාරණයේ දී අප ඒ එන්නතෙහි ගුණාත්මකභාව, ක්‍රියාත්මකභාවය හා ආරක්ෂකභාවය (Quality, efficacy and safty) පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. එසේ සැලකීමේදී අප මේ ගෙන්වන්න යන එන්නත තමයි හොඳම එන්නත විදියට අප හඳුනාගෙන තිබෙන්නේ.

l එන්නත්වල නම් කිහිපයක්ම පසුගිය කාලේ කියැවුණා. මේ එන්නතේ නම මොකක් ද?

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා (Oxford Astra Zeneca) හි ඉන්දියානු නිෂ්පාදනය වන කොවිෂීල්ඩ් (Covishield) යන්න තමයි ගෙන්වන එන්නතේ නම.

l කොහොමද මෙතරම් ඉක්මනින් මේ එන්නත ලංකාවට ගේන්න කටයුතු සැලසුණේ?

ඒක ඉතා සුවිශේෂී කාරණාවක්. අනෙක් රටවල්වලින් පවා මේ එන්නත සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් පවතිද්දි අපේ ජනාධිපතිතුමන්ගේ රාජතාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමට ඇහුම්කන් දුන් ඉන්දීය රජයේ අගමැතිවරයා මැදිහත් වී තීරණය කරලා තිබෙනවා අපට මේ ඖෂධය ඉක්මනින්ම ලබා දෙන්න. ඒ අනුව ඉන්දීය ජනතාවට එන්නත් කරන්නට ගෙනා එන්නත්වලින් කොටසක් තමයි අපට මේ විදියට ලබා දෙන්න සූදානම් කර තිබෙන්නේ. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි අප රට සමඟ තිබෙන සම්බන්ධය නිසායි.

l අද එන්නත ගෙන ඒමේ සැලසුම කොහොමද?

අද (28) උදේ 11.00ට මේ එන්නත ලංකාවට ලැබෙනවා. එන්නත් ලක්ෂ 6ක් මුල් වටය සඳහා ගෙන්වීමට තමයි සැලසුම් කර තිබෙන්නේ.

l එන්නත විදින්න පටන් ගන්නේ කවදා ද?

හෙට (29) ඉඳන්ම අපි එන්නත්කරණය ආරම්භ කරනවා.

l එන්නත්කරණයේ දී ප්‍රමුඛතාව දෙන පිරිස තෝරා ගන්නෙ මොන පදනමකින් ද?

සෞඛ්‍ය අංශයේ සියලු දෙනාට මුලින්ම එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එහිදී රෝගීන් සමඟ ගැටෙන සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවකයන්ට තමයි මුලින්ම දෙන්න කටයුතු කරන්නේ. ඔවුන් වෛද්‍යවරු, හෙද හෙදියන්, සුළු සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වෙන්න පුළුවන්. කිසිම බෙදීමක් කරන්නේ නෑ. ඒ සියල්ලන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ජාතික රෝහල ඇතුළු රෝහල් 06ක මුල් වටයේ එන්නත් ලබා දීම සිදු වෙනවා.

l ආරක්ෂක අංශයේ සිටින්නවුන්ටත් එන්නත ලබා දෙන බව කියැවුණා. මුල් වටයට ඔවුන් අයත් වෙන්නෙ නැද් ද?

ආරක්ෂක අංශයේ ඉන්න අයගෙනුත් කොවිඩ් සටනේ ඉදිරිපෙළ ඉන්න අයට තමයි මුලින්ම දෙන්නෙ.

l එන්නත් ලබා ගැනීමේදී ප්‍රතිපාදන වෙන් වුණේ කොහොම ද?

අපට හෙට ලැබෙන එන්නත් ලක්ෂ 6ම නොමිලේ තමයි ලැබෙන්නෙ. සත පහක්වත් අපට ඒ සඳහා වැය කරන්න සිදු වෙන්නෙ නෑ කියා මම වගකීමෙන් කියනවා.

l මුල් වටය නොමිලේ ලැබුණත් දිගින් දිගටම නොමිලේ ගැනීමේ හැකියාවක් නෑ නේ ද?

එහෙම නෑ. ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තව එන්නත් මිලියන 2ක් ගෙන්වන්න ඉල්ලුම් කර තිබෙනවා. ඒ වගේම අනෙකුත් එන්නත් ලංකාවට ගෙන ඒම පිළිබඳවත් අපි මේ දිනවල පර්යේෂණ කමිටුවක් හරහා සුදුසුද යන්න පිළිබඳ අධ්‍යයනය කරමන් ඉන්නවා.

l කොවිඩ් නිසා රට අර්බුදයක ඉන්න වෙලාවෙ කොහොම ද ඇත්තටම මේවට මුදල් වෙන් කර ගන්නෙ?

ඇත්තටම මේවට මුදල් වෙන් කරන එක අපට ගැටලුවක් නෙවෙයි. මොකද දිනකට පීසීආර් පරීක්ෂණ සඳහා පමණක් අපි මිලියන 100ක් වැය කරනවා. එතකොට මුළු රට පුරාම කොවිඩ් මර්දන වැඩසටහන වෙනුවෙන්, ඒ කියන්නෙ කොවිඩ් රෝගීන් ප්‍රවාහනය, නිරෝධායනය වැනි දේ ඇතුළුව ඒ ක්‍රියාදාමය සඳහා බිලියන 110ක් වැය කරනවා. ඉතිං මෙතරම් වියදම් කරන රටකට වැක්සින් එකක් ගෙන්වන්න මිලියන ගණන් වියදම් කරන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. අඛණ්ඩව දැනටත් අපේ රටේ භාණ්ඩාගාරයෙන් මේ සඳහා මුදල් වෙන් කරනවා. මේ පීසීආර් කරන මුදලින් වැක්සින් ගත්තොත් එක් අයකුට වැක්සින් 6ක් වුණත් ගහන්න හැකියාව තිබෙනවා. ඒ තරම් මුදලක් අපි දැනට කොවිඩ් වෙනුවෙන් දිනකට වැය කරනවා.

l මේ දේවල් සිදු කිරීමේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ කවු ද?

කොවිඩ් එන්නත ගෙන්වීම පිළිබඳ ජාතික කමිටුවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා. රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියත් ඉන්නවා. ඊළඟට මම ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, හමුදාපතිතුමා, වෛද්‍ය සැපයීම් පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමා, ජාතික ආයුර්වේද සංස්ථාවේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මතිතුමා වගේම වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මැතිතුමා ඒ කණ්ඩායමේ ඉන්නවා. අපි මේ එන්නත ලබා දීම සම්බන්ධයෙන් දැන් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.

l එන්නත ලබා දීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පෙරහුරුවකුත් සිදු කළා නේ ද?

ඔව්. එය ඉතා ක්‍රමවත්ව සිදු කළා. පිළියන්දල රෝහල, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කොළඹ උතුර රෝහලේ දී තමයි පෙරහුරුව සිදු කළේ. එහිදී කණ්ඩායම් හඳුනා ගැනීම, පරතරයක් ඇතිව අසුන් ගැන්වීම, ලියාපදිංචිය (ලිඛිතව හා තාක්ෂණිකව) හා එන්නතින් පසු ලබා ගත් පුද්ගලයා පිළිබඳ නිරීක්ෂණය සිදු විය යුතු ආකාරය ගැන පෙරහුරුව සිදු කළා. එහිදී අවහිරතා ඇති විය යුතු තැන් හඳුනා ගත්තා. ඒ කියන්නෙ අපි හෙට බෙහෙත විදින්නෙ පෙරහුරුවෙන් හඳුනා ගත් අඩුපාඩුත් නිවැරදි කර ගනිමින් ඉතා ආරක්ෂිත හා ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේයි.

l මේ එන්නත් ගෙනැවිත් ගබඩා කිරීමේ සැලසුම මොකක් ද?

ජනාධිපතිතුමා තමයි ගුවන්තොටුපොළේ දී මේ එන්නත් තොගය අද භාර ගන්නේ. එතුමන් භාර ගැනීමෙන් අනතුරුව හමුදාවේ උපකාර ඇතිව අපි ප්‍රධාන වසංගත රෝග අංශයට ගෙනැවිත් මෙය ගබඩා කිරීම සිදු කරනවා. ඊළඟට ප්‍රධාන ගබඩාවෙන් ප්‍රාදේශීය ගබඩා වෙත ගෙන යන්නෙත් හමුදා උපකාර ඇතිව. දැනට ගබඩා 26ක් ඒ සඳහා සූදානම්.

l දරුවන්ටත් එන්නත ලබා දීම සිදු කරනවා ද?

දරුවන්ට, ඒ කියන්නෙ අවුරුදු 18ට අඩු කිසිවකුට මේ එන්නත අපි දෙන්නෙ නෑ. ඒ වගේම ගැබිනි හා කිරි දෙන මවුවරුන්ටන් දෙන්නෙ නෑ. ඒ අයට මේ එන්නත අවශ්‍ය වෙන්නෙ නැහැ.

l එතකොට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට අමතරව කාටද මේ එන්නත දෙන්නෙ?

ඊළඟ ප්‍රමුඛතාව ලැබෙන්නෙ ගුවන්තොටුපොළ කාර්යය මණ්ඩලයට. ඊළඟට අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තිබෙන අයට, බිම් මට්ටමේ සිටින කම්කරු සේවකයන්ට, පිරිසුදු කරන්නන්ට හා මාධ්‍යවේදීන්ට තමයි ඊළඟ ප්‍රමුඛතාවය ලැබෙන්නෙ.

l මේ සියලු දෙනාට දෙන්නෙ එකම එන්නත් මාත්‍රාව ද?

ඔව් සියල්ලන්ට එකම මාත්‍රාව දෙන්නෙ. උස, බර, වයස ඊට ගැටලුවක් වෙන්නෙ නෑ.

l එක එන්නතක් පමණක් දීම ප්‍රමාණවත් ද?

නෑ. එන්නත් දෙකක් ලබා දිය යුතුයි. පළමු එන්නතින් සති 4ත් 6ත් අතර වගේ දිය යුතුයි. සාමාන්‍ය යෙන් සති 3කට පස්සෙ තමයි දිය යුත්තේ.

l ශ්‍රී ලංකාවේත් රෝග ව්‍යාප්තිය එන්න එන්න වැඩි වෙනවා. මේ වැඩි වන ප්‍රමාණයට සරිලන සේ එන්නත් ගෙන්විය හැකිද?

අනිවාර්යයෙන්ම පුළුවන්.

l ඔය තරම් පහසුවෙන් එන්නත ගෙන ඒමේ හැකියාව තිබියදී එන්නත සොයා ගත් වහාම ඇයි මේ රටට ගෙනාවේ නැත්තේ?

එන්නතක් හඳුනා ගත් වහාම එය ගෙනැවිත් භාවිත කිරීම භයානකයි. ඒවායේ ගුණාත්මකභාවය, ක්‍රියාත්මකභාවය හා ආරක්ෂිතභාවය සෙවිය යුතුයි. ලක්ෂ 100කට 200කට නොදී එහි ආරක්ෂිතභාවය පිළිබඳ අපට වගකියන්න බෑ. ඒ අයගෙ අතුරු ආබාධත් අධ්‍යයනය කරලා, විශේෂඥ වෛද්‍ය නිර්දේශය ඇතුළු විශේෂ කරුණු රැසක් සොයා බලලයි මේ එන්නත් දෙකකට අවසර ලැබුණෙ. ඇස්ට්‍රාසෙනෙකා තමයි අතුරු ආබාධ අඩුම විදියට හඳුනා ගත්තෙ, ඊළඟට ෆයිසර් එන්නතත් රුසියාවේ ගැමීලියා කියන එන්නතත් බලනවා. ඉන්දියාවේ භාරත් බයෝ ටෙක් හා චීන එන්නතක් පිළිබඳවත් දැනට බලමින් ඉන්නවා ලංකාවට ගෙන්වීම සුදුසුද කියා.

l අනෙක් එන්නත් තිබියදී ඉන්දියාවෙන් නොමිලේ එන්නත ගේන්නෙ රටේ දේවල් විකුණමින්ද කියන චෝදනාවකුත් තිබෙනවා,

එහෙම කිසිම දෙයක් නෑ. ඉන්දියාව තමයි ඖෂධ සඳහා හොඳම රට. අනෙක් රටවල් පොරකකා වැඩි මිලකට ඉල්ලද්දි, පෞද්ගලික අංශය බිලියන ගණන් ගෙවා ගන්න ඉල්ලද්දි එහෙම දෙන්නෙ නෑ. රජයන්වලට විතරයි දෙන්නෙ. අනෙක ලංකාවෙ ඉන්න මිලියන 20ට ඉන්දියාවට වඩා පහසුවෙන් මේ එන්නත ලබා දී අවසන් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන රාජතාන්ත්‍රිකභාවයේ ශක්තිමත්කම හා ජනාධිපතිතුමා පිළිබඳ ඇති හිතවත්කමත් විශ්වාසයක් මත අපට මේවා නොමිලේ දෙන්නෙ. මේ එන්නත ලබා දීම රටක් වශයෙන් අප ලබන විශාල ජයග්‍රහණයක්. අපි එතකොට ආරක්ෂිත රටක් බවට පත් වෙනවා.

l ඔය කියන ප්‍රමුඛතා පිළිවෙළ ඉහළ පුද්ගලයන් නිසා බිඳී යයි ද?

කොහෙත්ම නෑ. ජනාධිපතිතුමා කියා තිබෙන්නෙ මටවත් මුලින් දෙන්න එපා කියලා. ඉතින් ඇමැති මණ්ඩලයේ හිටියත් එන්නත ලැබෙන්නෙ නෑ. අනුපිළිවෙළටම පැමිණිය යුතුයි.

l එන්නත ලබා දෙන්නෙ රජයේ රෝහල් හරහා පමණ ද?

ඔව්. දැනට සැලසුම් කර තිබෙන්නේ රජයේ රෝහල් හරහා පමණක් දෙන්නයි.

l මෙහි අතුරු ප්‍රතිඵලත් විදේශයන්ගෙන් වාර්තා වුණා. ඒ නිසා මේ සඳහා ඔබතුමන්ලාගේ ඇති වගවීම කොහොම ද?

මේකනෙ, එන්නත් ගැහුවත් නොගැහුවත් මැරෙන අය ඉන්නවා. අපි බැලුවෙ එන්නතෙන් වෙන වාසි මොනවාද, අවාසි මොනවාද, රෝගයෙන් වෙන අවාසි මොනවද කියන එකයි. අපේ පර්යේෂණවලදී සනාථ වී තිබෙනවා මෙය සියයට 85ක් සාර්ථකයි කියා. මෙය ඉතාමත් ආරක්ෂාකාරී එන්නතක්. ඉතා හොඳ ක්‍රියාකාරී එන්නතක්. ජනතාව මේ සඳහා කිසි දේකට බිය විය යුතු නෑ. අපි පෝලියෝ, වසූරිය, රුබෙල්ලා, පිටගැස්ම ආදී රෝග තුරන් කරමින් එන්නත් මඟින් ඉතා සාර්ථක වූ රටක්. මේක හරියට ගැහුවොත් අපිට තවත් විශාල ජයක් ලබන්න පුළුවන්. තෝරා ගත් පිරිසකට ගැහුවත් රටේ සියයට 50කට ගැහුවොත් අපට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම තිබෙනවා. පසු විපරමක් කරන නිසා එන්නතේ බාහිර බලපෑම් ගැනත් බිය විය යුතු නෑ. මෙය දිව ඔසුවක්.

l මේ එන්නත ලංකාවේ නිපදවීමේ හැකියාව කොහොම ද?

අපි පඩියෙන් පඩිය ඉහළට නැංගා වගේ එන්නත් ලංකාවේ නිපදවන්නත් සැලසුම් කරමින් ඉන්නවා.

චාමිකා මුණසිංහ

උපුටාගැනීම – දිනමිණ පුවත්පත